කොළඹට අයිති ඉඩමක් ලෙසින් පෝර්ට් සිටි ගැසට් කිරීමට පියවර

    May, 2, 2019

    අනාගතයේදී ජාතික ආර්ථිකයට සුවිසල් දායකත්වයක් ලබා දීමට නියමිත කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම ඇතුළු කාර්යයන් ක්‍රියාත්මක කිරීම පිණිස මෙම ප්‍රදේශය කළමනාකරණය කිරීම හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලතල සහිත දේපළ කළමනාකරණ සමාගමක් ස්ථාපිත කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ඉහළ වටිනාකමකින් යුත් විදේශ ආයෝජන ආකර්ශණය කරගැනීම සඳහා මුහුදු වැලි යොදා ගනිමින් මුහුද ගොඩ කිරීම මඟින් වරාය නගර භූමිය නිර්මාණය කරනු ලැබ ඇත. ඒ අනුව හෙක්ටයාර 269ක භූමියක් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට එක් වන අතර, එහි මාර්ග හා පොදු ස්ථානවලින් සමන්විත හෙක්ටයාර 91ක් තුළ කිලෝමීටර 2ක දිගින් යුත් වෙරළක්, ප්‍රධාන උද්‍යානයක්, වසරේ ඕනෑම කාලයක පිහිනීම හා ජල ක්‍රීඩා කිරීම සඳහා යෝග්‍ය වූ මුහුදු තීරයක් සහ නගරය හරහා දිවෙන මීටර 70ක පළලකින් යුත් ඇළ මාර්ගයක් ස්ථාපනය කෙරෙනු ඇත. එමෙන්ම අවන්හල් හා විනෝද වීමේ පහසුකම් සහිත නිකේතන වරායක්, විනෝද උද්‍යානයක්, ජාත්‍යන්තර අධ්‍යාපන, ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සහ සම්මන්ත්‍රණ ශාලාවකින් මෙම ප්‍රදේශය සමන්විත වනු ඇත.