කොළඹට පැමිණි බාල පෙට්රල් නැව ගැනයි මේ

    October, 20, 2014

    නිසි ප්‍රමිතියට නොමැති යැයි රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරගත් සිංගප්පූරු සමාගමකින් ගෙනා පෙට්රල් මෙට්ට්‍රික් ටොන් 10,000 ක් නැවත හරවා යවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග පැවසීය.

    අමරසේකර මහතා පැවසුවේ මෙම නැව මේ වනවිට කොළඹ වරායේ තිබෙන බවත් එමගින් ගෙනා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 20,000 ක තොගය නිසි ප්‍රමිතියට තිබූ නිසා සංස්ථාව විසින් භාරගත් බවයි.

    “බාල ඉන්ධන තොග ආපසු යැවීම සාමාන්‍ය දෙයක්. අපි අවුරුද්දක පමණ කාලයක සිට ඉන්ධන පිරටකදී නැවට පැටවීමට පෙර පරීක්ෂණයක් සිදුකරනවා. එහිදී, නිසි ප්‍රමිතියට තිබෙනවා කියා තහවුරු වූ විට එම ඉන්ධන තොගය පටවා මෙරටට රැගෙන ඒමට උපදෙස් දෙනවා. මෙරටදීත් අපි ඒවා නැවත පරීක්ෂා කරනවා. මෙම පරීක්ෂණ දෙක මීට පෙර එක් සමාගමකින් කළත් දැන් කරන්නේ සමාගම් දෙකක් විසින්.“

    “මෙරටදී පළමු පරීක්ෂණයෙන් අසමත් වූවොත් තවත් පරීක්ෂණයක් කරනවා. දෙවැනි පරීක්ෂණයෙන් අසමත් වූ විටයි නැවත එම ඉන්ධන තොග මිලදීගත් සමාගමට ආපසු හරවා යවන්නේ.“

    යනුවෙන් අමරසේකර මහතා සඳහන් කළේය.

    බාල ඉන්ධන හේතුවෙන් වාහන දෝෂයන්ට ලක්වූ බවට පසුගිය කාලයේදී දැඩි චෝදනා එල්ල වූ අතර බාල ඉන්ධන පිළිබඳව සමාජයේ විශාල කතිකාවක් මේ නිසා ඇතිවිය.