කොළඹ අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ජනතාවට එන මාසයේ දී

    June, 17, 2024

    කොළඹ නගරයේ තිබෙන අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ලබන මාසයේ දී ජනතාව වෙත ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (17) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “දැන් මේ රටේ අමාරු කාලේ හැම එක්කෙනාටම දුක් විඳින්න තියෙනවා. අලාභය අපි බෙදා ගන්නවා. හොඳ වෙන කොට ලාබේ අපි ඔක්කොම බෙදා ගන්නේ නැහැ. කොටසක් විතරයි ලාබේ බෙදාගන්නේ. ඉතින් මම බැලුවේ, මේකට මුහුණ දෙන, ගොවිතැන් කරලා අපිට උදව් කරන සාමාන්‍ය ජනතාවට මේ ලාබෙන් කොටසකුත් දෙන්න ඇයි බැරි කියලා. අපි අලාබෙන් දුන්නා නම්, ලාබෙනුත් කොටසක් දෙන්න ඕනේ. හොඳයි නරකයි දෙකම තියෙන්නේ ඕනේ. වැස්ස කාලෙත් තියෙන්න ඕනේ, ඉඩෝරෙත් තියෙන්න ඕනේ. එකක් විතරක් බෙදාගන්න බැහැ. දෙකම බෙදාගන්න ඕනේ. ඒ නිසා මූලික වශයෙන් බැලුවේ සින්නක්කර අයිතිය හැම එක්කෙනාටම ලබලා දෙන්න. කොළඹ නගරයේ අපිට කුඹුරු නැහැ බෙදලා දෙන්න. ඒත් අඩු ආදායම් තට්ටු නිවාස තියෙනවා, දෙලක්ෂ පනස්දාහෙම අයිතිය මම දෙනවා, එන මාසයේ. අපි දැන් අයිතිය බෙදන්නේ. අයිතිය හැම එක්කෙනාටම දෙනවා. අයිතිය කියන්නේ ලොකු දෙයක්.“