June, 26, 2024
ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් එකඟතාවයට පැරසියේදී අද(26) එළඹ ඇත.
මෙම අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්වී තිබුණි.
නිල ණයහිමි රටවල කමිටුව නියෝජනය කරමින් එහි සම සභාපතිත්වය දරන ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය එම අවස්ථාවට සහභාගී විය.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන අපනයන - ආනයන බැංකුව සමග ගිවිසුම් අත්සන් කිරීම අද (26) සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
තව ද මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණයහිමි කමිටුවේ ( OCC) සම-සභාපතීත්වය දරන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට, එහි අනෙකුත් සාමාජිකයින් ට මෙන්ම චීන අපනයන - ආනයන බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බාහිර ණය අර්බුදයට ප්‍රතිකර්මයක් සෙවීමට කැපවූ OCC ලේකම් කාර්යාලයට ද සිය ස්තූතිය හිමිවන බව අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහන් කර ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සිය සටහනේ දක්වා ඇත්තේ මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විශ්වාසය වැඩිවන බවත් එය ආර්ථික වර්ධනයට රුකුලක් බවත් ය.


Video Story