කොළඹ ඉඩම් මිල 2019 දෙවන භාගයේ දී 10.4%කින් ඉහළට

    February, 26, 2020

    2019 වසරේ දෙවන භාගය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගණනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 138.9ක අගයක් වාර්තා කරන ලද අතර, එය 2018 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂ ව සියයට 10.4ක වර්ධනයකි. මෙම වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ම ඉහළ යාම හේතු විය.

    අනු දර්ශක අතුරින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වැඩි ම ඉහළ යෑම වන සියයට 10.7ක අගය නේවාසික ඉඩම් තක්සේරු දර්ශකය මගින් වාර්තා වූ අතර, වාණිජ ඉඩම් තක්සේරු දර්ශකයේ සහ කාර්මික ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළ යෑම සියයට 10.3ක් විය. මේ අතර, සමස්ථ ඉඩම් තක්සේරු දර්ශකය 2019 වසරේ පළමු භාගයට සාපේක්ෂ ව 2019 වසරේ දෙවන භාගයේ දී සියයට 5.1 කින් ඉහළ ගියේ ය.