කොළඹ ඉදිවෙන වෙළෙඳ නගරයට සරිලන තරු 07 ජීවන අත්දැකීමක් එක්කරන “ACHILLEION”

    January, 20, 2017

    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් කොළඹ ආශ්‍රිතව නම් කර ඇති ව්‍යාපාරික කලාපයට අනුගතව ඉදිරියේදී ඇතිවන ඉල්ලුමට සරිලන පරිද්දෙන් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක ආරම්භය පසුගිය දා (19) සිදු කෙරිණ. ඒ පළමු වරට තරු 07 පන්තියේ සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් ඉදිකෙරෙන ACHILLEION නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රභූවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරමිනි.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් දේශීය සමාගමක් වන බ්ලූ මවුන්ටන් සමාගම විසින් ACHILLEION තරු 07 පන්තියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු සිදු කරනු ලබන අතර එහි සහකරුවන් ලෙස සිංගප්පූරුවේ කීර්තිමත් සමාගමක් වන Palmer and Turner Group සහ Index අභ්‍යන්තර ගෘහ අලංකරණ සමාගම්ද එක්ව තිබේ.

    2020 වර්ෂයේදී වැඩ අවසන් කිරීමට නියමිත ACHILLEION දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජනය රුපියල් බිලියන 30 කි. ප්‍රධාන සාප්පු සංකීර්ණ, පාසල්, අවන්හල් සහ සුපිරි වෙළෙඳසැල් ඇතුළු පහසුකම් රැසකින් යුත් කොළඹ 04, බම්බලපිටිය ඉදිවන ACHILLEION නිවාස සංකීර්ණය නවීන පහසුකම් රැසකින් සමන්විතය. විශේෂයෙන්ම නිවැසියන්ගේ සංචාරක කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් අවශ්‍ය සංචාර කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම් සපයා දෙමින් නිවාස සංකීර්ණයේ මුදුනත හෙලිකොප්ටර් අංගනයක්ද ඇතුළත් කොට තිබේ. එමෙන්ම නිවැසියන් සඳහා එක් පුද්ගලික හෙලිකොප්ටරයක්ද, සුඛෝපභොගී බෙන්ස් රථ 05 ක් ඇතුළු වාහන ගණනාවක් ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වෙන්කර තිබේ.

    ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට දැකිය හැකි, අත්විඳිය හැකි ආකාරයේ පහසුකම් ගණනාවකින් මෙම නවීනතම නිවාස සංකීර්ණය සමන්විත වේ. ඒ අතර වන ශ්‍රී ලංකාවේ පළමු අහස් පාලම(Sky Bridge), සමුද්‍රාසන්න උසම අවන්හල සහ ගුවන් තටාකයක්(Infinity Pool) ද ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පෞද්ගලික නිවාස සංකීර්ණයක ක්‍රියාත්මක කරනු ලබන පැය 24 පුරා ක්‍රියාත්මක වෛද්‍ය මධ්‍යස්ථානයක්, විශාල පුස්තකාලයක් සහ පුද්ගලික සිනමා ශාලාවක්ද ACHILLEION හි ස්ථාපිත කෙරේ. කුළුණු දෙකක් ලෙස ඉදිවන ACHILLEION නිවාස සංකීර්ණය මහල් 54 ක, නිවාස ඒකක 584 කින් සමන්විතය.

    මහානගර බිහිකිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී සලකුණක් තබමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරය තුළ මින් පෙර නොදුටු නව්‍යකරණයේ අළුත් මානයන් මතින් ගොඩනැගෙන සමෘධිමත් අනාගතයක ප්‍රවේශකරුවා බවට ACHILLEION පත්වනු ඇත.