කොළඹ කසල පුත්තලමට? බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයට මංතීරු හතරක්

    October, 27, 2014

    කොළඹ නගරයේ එකතුවන කැලි කසල ඔරුගොඩවත්තේ සිට දුම්රියෙන් පුත්තලමට ගෙන ගොස් හුණුගල් කැණීමෙන් ඇතිවූ අත්හැර දැමූ දැවැන්ත වලවල් වලට දැමීමේ සැලසුමක් ඇතිබව පරිසර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    පුත්තලමේ පිහිටි මෙම ප්‍රදේශය ජන ශූන්‍ය බවත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවත් අමාත්‍යවරයා කීය. හුණුගල් කැණීමෙන් ඇතිවූ මෙම දැවැන්ත වලවල් වලට කොළඹ කැලි කසල අවුරුදු 20 ක් වැනි කාලයක් වුවද බැහැර කිරීමට හැකි තරම් මේවා විශාල බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ අදහස් පළකළේ බත්තරමුල්ල උඩුමුල්ල මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ කාපට් ඇතිරූ කොටස විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. අමාත්‍යවරයා කියා සිටියේ බත්තරමුල්ල මහජන වෙළඳ පොළට සම්බන්ධ වන ලෙස මේ වනවිට පිහිටි තාවකාලික ගුවන් හමුදා කඳවුර ලබන දෙසැම්බර් මාසයේ සිට එතැනින් ඉවත් කර වෙළඳ පොළ පුළුල් ලෙස සංවර්ධනය කරන බවයි.

    බත්තරමුල්ල හංදියේ වාහන ගාල් කිරීම මේ වනවිට දැඩි ප්‍රශ්නයක්ව පවතින අතර එයට විසඳුමක් ලෙස යෝජිත වෙළඳ පොළේ පුළුල් වාහන අංගනයක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

    බත්තරමුල්ල ආපිකෝ අලෙවිසැලට පිටු පසින් මේ වනවිට ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලට ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන ගෙන ඒමට නියමිත නිසා තවත් රාජ්‍ය සේවකයින් 15,000 ක් පමණ බත්තරමුල්ලට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ පිටත වටරවුම් මාර්ගයට පිවිසුම් මාර්ගයක් ලෙස බත්තරමුල්ල ප්‍රධාන මාර්ගය මංතීරු හතරක මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර තිබෙන බවයි.