කොළඹ කොටස්වලට විදෙස් ඇල්ම වැඩිවෙයි

    March, 31, 2017

    මෙම සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන කැපී පෙනන ලෙස ඉහළ ගියේය.

    සතිය ආරම්භයේ දී මාර්තු 27 දින රුපියල් මිලියන 429 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එයින් 18% ක් හෙවත් රුපියල් මිලියන 79.52 ක් විදේශීය ගැනුම් ලෙසින් සටහන් විය. මෙම සතිය තුළ අඩුම විදෙස් ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූ දිනය එදින වූ අතර ඊට පසු සෙසු සෑම දිනයකදී ම එම අගයෙහි කැපී පෙනන වර්ධනයක් වාර්තා වී තිබුණි.

    මාර්තු 28 දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.32 ක් වූ අතර එයින් රුපියල් බිලියන 1.98 ක් විදෙස් ගැනුම් වූ අතර එය සමස්ත පිරිවැටුමෙන් 85% කි.

    තවද මාර්තු 29 දින වාර්තා වූ රුපියල් මිලියන 388 ක පිරිවැටුමෙන් 43.55% ක් විදේශීය ගැනුම් ලෙස සටහන් වූ අතර එම අගය රුපියල් මිලියන 169 කි.

    මේ අතර ඊයේ (30) දිනයේ දී රුපියල් බිලියන 1.17 ක්වූ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියනයක්ම වාර්තා වූයේ විදේශීය ගැනුම් ලෙසිනි. මෙය සමස්ත පිරිවැටුමෙන් 88.56% කි.