කොළඹ කොටස් අදත් පහළට. පිරිවැටුමත් අඩුයි. ලංකා හොස්පිටල් මිල ඉහළට.

    December, 7, 2015

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකනය අද දිනය අවසානයේ දී ඒකක 6,858.63 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 10.93 ක හෙවත් 0.16% ක පහළ යාමකි. S&P SL20 දර්ශකය ද ඒකක 5.63 කින් පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 3,632.93 ක් ලෙසින් වාර්තා විය.

    මිල දර්ශක පහළ යාම කෙරෙහි ශ්‍රී ලංකා ටෙලිකොම් (රු. 46.50, -1.9%), කාගිල්ස් (රු. 185.00, -5.5%) හා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑනස් (රු. 50.10, -5.5%) සමාගම් හි කොටස් මිල ගණන් වැඩි වශයෙන් බලපාන ලදී. දිනය අවසානයේ දී නෙස්ලේ ලංකා කොටස් මිල රු. 2,200.00 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 5.8% ක වර්ධනයකි.

    දෛනික වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 388.92 කි. ඒ සඳහා ඉහළ දායකත්වයක් ලබා දීමට ඇක්සෙස් ඉංජිනියරින්ග් සමත් විය. රුපියල් 22.50 ක් බැගින් කොටස් මිලියන 2 ක් හා රුපියල් 22.70 ක් බැගින් කොටස් ලක්ෂ 9 ක්වූ crossing ගනුදෙනු දෙකක් ද සමඟින් රුපියල් මිලියන 103 ක් ඇක්සෙස් ඉංජිනියරින්ග් කොටස් ගනුදෙනු හරහා වාර්තා විය. සමස්ත වෙළෙඳපොළ පිරිවැටුමෙන් 17% ක් නියෝජනය කරන ලද්දේ ඉහත කී crossing ගනුදෙනු දෙක තුළිනි.

    මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 37 ක්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු. මිලියන 33.8 ක් හා ලංකා හොස්පිටල් රු. මිලියන 28 ක් ලෙසින් සමස්ත පිරිවැටුම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර විය.

    මේ අතර ලංකා හොස්පිටල් සමාගමේ කොටස් මිල අද දිනය අවසානයේ දී රු. 62.00 ක් ලෙසින් දැක්වුණු අතර දිනය තුළ රු. 63.60 ක් වැනි ඉහළ මිලකට පවා එම සමාගමේ කොටස් ගනුදෙනු විය. මෙය පසුගිය සති 52 ක කාලය තුළ ලංකා හොස්පිටල් සමාගමේ කොටස් ගනුදෙනු වූ වැඩිම මිල ලෙස දැක්විය හැකිය.

    රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලික අංශයට පැවරීමේ රජයේ යෝජනාවට අනුව ලංකා හොස්පිටල් හි පැවරීමක් සිදුවෙතැයි යන ආයෝජක බලාපොරොත්තුව මත එම සමාගමේ කොටස් මිල මෙසේ ක්‍රමයෙන් ඉහළ යන බව පෙනෙන්නට තිබේ. මේ වන විටත් හේමාස් හා සොෆ්ට්ලොජික් සමූහ සමාගම් ද්විත්වය, ලංකා හොස්පිටල් මිල දී ගැනීමට සිය කැමැත්ත පළ කර තිබීම, ඉහත කී ආයෝජක බලාපොරොත්තුව තවදුරටත් තීව්‍ර කරවන්නකි.

    සියලු කොටස් මිල දර්ශක අගය අනුව වසරේ මේ දක්වා කාලය පුරාවට සමස්ත කොටස් වෙළෙඳපොළ 6% කින් පහළ ගොස් තිබේ.