කොළඹ කොටස් අදත් බසී. කැල්ටෙක්ස් 22% කින් පහළට

    August, 9, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,506.03 ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 18.10 ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ද දිනය අවසානයේ දී පහළ යාමක් වාර්තා කළ අතර එය ඒකක 19.87 කින් පහළ ගොස් ඒකක 3,734.21 ක් ලෙසින් සටහන් විය.

    අද දින සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය 2017 අප්‍රේල් 27 දිනෙන් පසු වාර්තා වූ අවම වටිනාකම වේ.

    අද දින කොටස් ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 747,53 කි. මින් දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 256.81 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 381.13 ක් ලෙසින් වාර්තා වී ඇත.

    මේ අතර දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 490.72 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 366.39 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    අද දින ගනුදෙනු වූ සමාගම් කොටස් අතුරින් සමාගම් 37 ක කොටස් මිල ගණන් දිනය තුළ දී ඉහළ ගිය අතර සමාගම් 100 ක කොටස් මිල පහළ ගොස් ඇත.

    අවසාන ගනුදෙනු 9 තුළ දී සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගොස් තිබෙන අතර අවසාන ගනුදෙනු දින 21 තුළ දී සියලු කොටස් මිල දර්ශකය පූර්ව දිනට සාපේක්ෂව වැඩිවීමක් වාර්තා කර ඇත්තේ දින දෙකක දී පමණි.

    මේ අතර දිගින් දිගටම ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් සමාගමේ කොටස් මිල පහළ යන ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලබයි. පසුගිය මාසයක කාලය තුළ දී රු. 165.10 සිට රු. 128.10 දක්වා 22% කින් එහි කොටස් මිල පහළ ගොස් ඇත.ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් කොටස් මිල අද දිනයේ දී රු. 126.90 දක්වා ද පහත වැටී තිබුණි. කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ පසුගිය ජූනි 30 න් අවසන් වූ මූල්‍ය කාර්තුව තුළ දී ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් සමාගමේ ලාභය සියයට 34 කින් පහළ යාම, කොටස් මිල මෙලෙසින් කඩා වැටීමට හේතු වී ඇති බවයි.

    මේ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල පහළ යාමද මිල දර්ශකවල පහළ යාමට සෘජුව බලපා ඇත.  අඛණ්ඩව දින 7 ක් තුළ ජෝන් කීල්ස් කොටසක මිල රු. 174.00 සිට රු. 164.90 දක්වා මේ වන විට පහළ ගොස් තිබේ.

    දිනය තුළ ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු 3 ක් වාර්තා විය. මෙහිදී පිරමල් ග්ලාස් සමාගමේ කොටස් මිලියන 9 ක් කොටසක් රු. 6.40 බැගින්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් 2,260,267 ක් කොටසක් රු. 165.00 බැගින් සහ නෙස්ලේ සමාගමේ කොටස් 10,707 ක් කොටස් රු. 1,900.00 බැගින් ගනුදෙනු වී තිබිණි.