කොළඹ කොටස් ඒකක 160 කින් ඉහළට. දින 4 කදී විදේශිකයෝ රු. බිලියන 3.93 ක කොටස් ආයෝජන ඉවත් කර ගනිති

    November, 1, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් මේ වන විට අඛණ්ඩව ඉහළ යන ප්‍රවණතාවක් වාර්තා කරමින් සිටී. අද (01) දිනය තුළ දීද සියලු කොටස් මිල දර්ශකයේ දැවැන්ත ඉහළ යාමක් වාර්තා වූ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,114.13 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට වඩා ඒකක 160.66 ක ඉහළ යාමකි.

    මේ අතර මෙම සතියේ මෙතෙක් ගනුදෙනු සිදුවූ දින 4 තුළදී පමණක්, එනම් 2018 ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 01 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 282.17 ක වර්ධනයක් වර්තා කර ඇත. මේ දින 4 තුළ සියලු කොටස් මිල දර්ශකය 4.83% කින් ඉහළ ගොස් ඇත.

    වසර ආරම්භයේ සිට පසුගිය ඔක්තෝබර් 26 න් අවසන් වූ කාලපරිච්ඡේදය දක්වා 2018 වසරේ දෛනික සාමාන්‍ය ගනුදෙනු පිරිවැටුම සටහන් වූයේ රුපියල් මිලියන 768 ක් ලෙසිනි. කෙසේ වෙතත් මෙම සතියේ ගනුදෙනු දින 4 තුළ දී රුපියල් බිලියන 8 ක පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    මේ අතර මෙම දින 4 තුළ දී රුපියල් බිලියන 3.93 ක ශුද්ධ විදේශීය ගලා යාමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වේ. මෙම දින 4 තුළ දී විදෙස් ආයෝජකයින් රුපියල් බිලියන 1.81 ක කොටස් මිල දී ගෙන ඇති අතර ඔවුන් විකුණා ඇති කොටස්වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 5.75 කි.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ වෙනස් වීම සමහා ඉහළම දායකත්වය දැක්වූ සමාගම් 10 පහතින් දැක්වේ.