කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට

    December, 5, 2016

    දිගු කාලයක් පුරාවට ආයෝජකයින්ගේ අවධානයෙන් ගිලිහී තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ, පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින තුන තුළ දී අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් යළිත් වරක් ආයෝජක ආකර්ෂණය ලබා ගැනීමට සූදානම් බවට ඉඟි පළ කරමින් සිටී.

    පසුගිය සිකුරාදා (02) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,325.57 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව දින හා සැසඳීමේ දී ඒකක 16.53 ක ඉහළ යාමකි. පසුගිය සතිය සැසඳීමේ දී දෙසැම්බර් 01 වැනි දින සුවිශේෂී වන අතර එහිදී ඒකක 67.94 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකය තුළින් පිළිබිඹු කෙරිණි.

    මෙහි ඇති විශේෂත්වය නම් දෙසැම්බර් මාසයේ මෙතෙක් ගෙවී ගිය ගනුදෙනු දින දෙක තුළ, දෛනික පිරිවැටුම් ද, මෙම වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම් මට්ටම ඉක්මවා ගොස් තිබීමයි. මෙහිදී දෙසැම්බර් 01 දින රුපියල් මිලියන 1,181.56 ක් සහ දෙසැම්බර් දෙවන දින රුපියල් මිලියන 947.90 ක් ලෙසින් දෛනික පිරිවැටුම් වාර්තා වූ අතර එය වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන කොළඹ කොටස් දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 697.9 ඉක්මවීමට සමත්වීම කැපී පෙනෙන කරුණකි.

    මෙහිදී තවත් සුවිශේෂී කරුණක් වූයේ දෙසැම්බරයේ පළමු දෙන දෙක තුළ දී විදෙස් ආයෝජකයින් සක්‍රීය ලෙසින් කොළඹ කොටස් ගනුදෙනු කෙරෙහි දායක වීමයි. එහිදී දෙසැම්බර් පළමු දින රුපියල් මිලියන 851.54 ක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් මිලියන 806.09 ක විදේශීය විකිණුම් වාර්තා වූ අතර, දෙසැම්බර් දෙවන දිනයේ දී රුපියල් මිලියන 478.73 ක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් මිලියන 728.99 ක විදේශීය විකිණුම් වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1.84 ක ශුද්ධ විදේශීය ගලා යාම් ප්‍රමාණයක් වාර්තා වී තිබීම කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජකයින් තවමත් සෑහීමකට නොවූ වටපිටාවක් නිරූපණය කරනු ලබන බව කිව මනාය.

    මේ සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන් කියා සිටින්නේ පසුගිය අඟහරුවාදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී පවතින මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වා ගෙන යාමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කිරීමත්, භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වීමත්, කොටස් වෙළෙඳපොළ කෙරෙහි සුභවාදී වනු ඇති බවයි.

    නොවැම්බර් 30 වන දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොළියේ වෙනසක් සිදු නොවූවද, දින 182 බිලපත් පොළිය 9.71% සිට 9.55% දක්වා පදනම් අංක 16 කින් සහ දින 364 බිල්පත් පොළිය 10.25% සිට 10.10% දක්වා පදනම් අංක 15 කින් පහළ යාම වෙළෙඳපොළ පොළී අනුපාතික පහළ යාමේ ප්‍රවණතාවක් ගැන ඉඟි පළ කරනු ඇති බවත් මෙම තත්ත්වය දිගු කාලීනව කොටස් වෙළෙඳපොළට සාධනීය බලපෑඹක් ඇති කරලනු ඇති බවත් අද දෙරණ කළ විමසීමක දී කොටස් තැරැව්කරුවන් කිහිප දෙනෙකුගේම අදහස විය.

    පසුගිය නොවැම්බර් මාසය තුළ දී කොටස් වෙළෙඳපොළ පිරිවැටුම් මට්ටම් බෙහෙවින් පහළ අඩියක පැවතීම හේතුවෙන් ඇති වූ ද්‍රවශීලතා ගැටළු ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් වනු ඇති බව ජ්‍යෙෂ්ඨ ආයෝජන උපදේශකවරයෙකු අද දෙරණ වෙත පැවසීය.

    2016 දෙසැම්බර් 02 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපාළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6894.50 සිට ඒකක 6,325.57 දක්වා 8.25% කින් පහළ වැටී තිබේ.

    අවසාන ගනුදෙනු දින තුන තුළ දී කොටස් වෙළෙඳපොළේ පිබිදීම පහත ප්‍රස්ථාරයෙන් දැකිය හැකිය.