කොළඹ කොටස් පොළේ සභාපතිවරයාට ජාත්‍යන්තර ලොකු පුටුවක්

    April, 28, 2015

    කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා වන වජිර කුලතිලක මහතාව දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සභාපතිවරයා ලෙස තෝරාගෙන තිබේ.

    මේ අනුව, මෙම ධූරය කුලතිලක මහතාට ඉදිරි වසර 02 ක කාලය සඳහා හිමිවන අතර මීට පෙර මෙම තනතුර දරා තිබුණේ චිතගොං කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා වූ ආචාර්ය මහම්මඩ් අබ්දුල් මසීඩ් නැමැත්තායි.

    මේ අතර, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස මෙවර ආචාර්ය මහම්මඩ් අබ්දුල් මසීඩ් සහ බොම්බාය කොටස් වෙළඳ පොළේ ප්‍රධාන මූල්‍ය නිළධාරීවරයා වන නයන් මෙහ්තා පත්කර ගෙන ඇත. උප සභාපති ලෙස තෝරාගෙන තිබෙන්නේ අඩුඩාබි විනිමය කොමිසමේ ප්‍රධාන විධායක නිළධාරී, රෂීඩ් අල් බාලාෂි නැමැත්තායි.

    කොළඹ කොටස් වෙළඳ පොළ, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සමාරම්භක සාමාජිකයෙකු වන අතර දකුණු ආසියාවේ සුරැකුම් වෙළඳ පොළවල් ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙය පිහිටුවනු ලැබුවේ 2000 වසරේදීයි.

    මේ වනවිට, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සාමාජිකයින් ගණන 15 ක් වන අතර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, මුරුසිය, භූතානය සහ එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍ය මෙහි සාමාජිකයින් වේ.

    මෙහි ලේකම් කාර්යාලය පිහිටුවා තිබෙන්නේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේයි.