කොළඹ කොටස් වෙළෙඳපොළෙන්, අනුරාධපුර දිගනේගම විද්‍යාලයට පුස්තකාලයක්

    February, 6, 2017

    දිවයිනේ අතිශය දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තවදුරටත් තහවුරු කරමින් හා එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට දිරිය ලබාදෙමින් අනුරාධපුර ඉතා දුෂ්කර හුදකලා පාසලක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිගනේගම විද්‍යාලයට පුස්තකාලයක් ලබා දීම පසුගියදා සිදුවිය.

    1954 දී ස්ථාපනය කරන ලද දිගනේගම විද්‍යාලය 100 කට අධික අධි දරීද්‍රතාවෙන් පෙළෙන දරුවන් සඳහා 1 වසර සිට 11 වසර දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අවස්තාව සලසා දී තිබේ. ප්‍රාථමික අධ්‍යාපනය හා ද්විතියික අධ්‍යාපනය මෙන්ම ඉහළ අධ්‍යාපනික සම්පත් වල හිඟ භාවය මෙම විද්‍යාලයට ඇති මූලිකම අභියෝගයයි.

    කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන සිය සාමාජ සත්කාරක වැඩසටහන සඳහා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව මෙම පාසලට අත්‍යාවශ්‍ය අංගයක්ව පැවති පාසල් පුස්තකාලය ලබාදීම සඳහා කටයුතු යොදන ලදී. ගරාවැටුණු ගොඩනැගිල්ලක් නැවත පිළිසකර කරමින්, ගෘහ භාණ්ඩ, පොත් හා අනෙකුත් අත්‍යවශ්‍ය අංග රාශියක් ලබා දීමට කටයුතු කරන ලදී.

    මේ සියලු අභියෝග තිබුණත් මෙම විද්‍යාලය සෑම වසරකම පාහේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේ සාමාර්ථ ප්‍රතිශතය 80% ක පවත්වාගෙන යාමට සමත්ව තිබේ. එමෙන්ම 2012 වර්ෂයේදී උතුරුමැද පළාතේ හොදම පරිසර හිතකාමී පාසල ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. පාසලට මෙම සියලු ජයග්‍රහණයන් අත්පත් කරදීමේ පසුපස සිටින්නේ විදුහල්පති තුමන් හා අචාර්ය මණ්ඩලය බව කිව යුතුමය.

    මෙම අවස්තාව පිළිබඳව අදහස් පළකරමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී , රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ, අධ්‍යාපන ආයතනයකට මූලිකව පැවතියයුතු එහෙත් නොපැවතුනු අඩුපාඩුවක් ආමන්ත්‍රණය කිරීමට ආයතනය සමත්වූ බවත්, රටේ අධ්‍යාපනය ලැබිය යුතුම කොටස් වලට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේහිලා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නිරන්තරයෙන් කැපවී සිටින බවත්ය.

    දිගනේගම විද්‍යාලයේ පුස්තකාලය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙන්ම පාසලේ ඉදිරි දියුණුව සඳහාද කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට කළ හැකි උපරිම දායකත්වය ලබා දීමට එහි අනුරාධපුර ශාඛාව හරහා කටයුතු කරමින් සිටී.