June, 23, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (23) දක්නට ලැබුණි.
ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 322.55කින් පහළ ගොස් ඒකක 16,765.40ක් ලෙසින් සටහන් විය.
සියලු කොටස් මිල දර්ශකයේ මෙම කඩාවැටීමට සමාගම් 202ක් හේතු වී තිබූ අතර සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ හේලීස් යන සමාගම් මේ සඳහා බෙහෙවින් හේතු වී තිබුණි.
මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 108.10 කින් පහළ ගොස් ඒකක 4,991.18ක් ලෙසින් සටහන් විය.
අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.49ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.32ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.39 ක් ලෙසින් සටහන් වී තිබුණි.
මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 166ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 97ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.
මේ වන විට මැදපෙරදිග කලාපය තුළ තීව්‍ර වී ඇති යුධමය වාතාවරණය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවකම මිල දර්ශකවල පහළ යාමක් නිරීක්ෂණය කළ හැකිය.

Video Story