කොළඹ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ඔක්තෝබරයේ දී

    September, 29, 2017

    ශ්‍රී ලංකා වෙළඳ සංගමය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු පිලිබඳ අමාත්‍යංශය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග අනුබද්ධව සංවිධානය කරනු ලබන කොළඹ අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය, ශ්‍රී ලංකා වෙළඳ සංගමයේ යෝජනාවක් මත ඔක්තෝබර් මස දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රදර්ශන බහුල ලෙස පැවතුනද, කොළඹ අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය තුලින් දෙස් විදෙස් වෙළඳ සංචාරකයන් හට ඉතාමත් විශිෂ්ඨ වෙළඳ අත්දැකීමක් ලබාගැනීමට හැකිවනු ඇත. නව මුහුණුවරකින් පැවැත්වෙන මෙවර වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වන සංචාරක පාරිභෝගිකයන් හට ගමන්, නවාතැන් ආදී පහසුකම් රැසක් ලබාදීමට කටයුතු සංවිධානය කර ඇත.

    ශ්‍රී ලංකාව වෙළඳ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වෙළඳ ප්‍රදර්ශනයේදී, දේශීය ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන වෙළඳ පොලට හඳුන්වා දී ඒවා ප්‍රවර්ධනය කිරිමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත. මෙහිදී ලොව ප්‍රකට වෙළඳ නාම යටතේ නිෂ්පාදනය වන වෙළඳ භාණ්ඩ අඩු මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලැබේ. එමෙන්ම මෙය, සංචාරක පිරිස් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවිධානය වන දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය ලෙස ද හැදින්විය හැකිය.

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කලාපිය සංචාරක ගමනාන්ත වන ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය හා මාලදිවයින යන රටවල මෙම ප්‍රදර්ශනය පිලිබඳ ප්‍රචාරක වැඩසටහන් දියත් කිරීමට බලපොරොත්තු වන අතර එමගින්, එම රටවලින් පැමිණෙන සංචාරක කණ්ඩායම් වෙළඳ ප්‍රදර්ශනය වෙත ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    තවද, කොළඹ අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය හරහා, ශ්‍රී ලංකාව, ඩුබායි, සිංගප්පුරුව වැනි රට වලට සමාන, ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළඳ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.