කොළඹ මුහුද ගොඩකිරීම ළඟදීම ඇරඹෙන හැඩ

    March, 14, 2014

    කොළඹ, ගාලු මුවදොර අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම් ලබන මාසයේදී අත්සන් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියයි.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම අප සමග සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන චීනයේ China Communications Construction Company Limited (CCCC) සමාගම සමග මෙයට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා මේ වනවිට ලහි ලහියේ කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

    “අපි මේ දවස්වල කැපවෙලා ඉන්නේ මෙම වරාය නගරයට අදාළ ගිවිසුම් අත්සන් කරන්නයි“
    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.

    එළඹීමට යන ගිවිසුමට අනුව අක්කර 568 ක් වන මෙම ඉඩම ගොඩකිරීමේ කටයුතු මාස 39 කදී අවසන් කිරීමටත් මෙහි නාගරික සංකීර්ණයක් ඉදිකිරීමට අක්කර 123 ක ඉඩම් මෙම චීන සමාගමට අවුරුදු 99 බදු පදනම මත ලබාදීමටත් එකඟත්වයට පැමිණීමට යනබව අප වෙත අනාවරණය වේ.
    මෙම නාගරික සංකීර්ණය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.4 ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිතය.

    මෙම භූමියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූලස්ථානය පිහිටුවීමට තට්ටු 22 කින් යුක්ත ගොඩනැගිල්ලක්, හෝටල්, සුපිරි නිවාස සංකීර්ණ ඉදි කිරීමටත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් ඇති කිරීමටත් සැලසුම් කර ඇත.