කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් බවට පරිවර්තනය කරනවා

    August, 22, 2016

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියයි

    කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ලෙස ගොඩනැංවීමේ කටයුතු රජය විසින් මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආරථික කටයුතු කැබිනට් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඓතිහාසික සංකල්පයක් මත ඉදිවන මෙම මුල්‍ය නගරයේ මුලික මෙහෙය වීම් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    ඒ අනුව, කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගර ව්‍යාපෘතිය ගොඩනැංවීමට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් සැපයීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සිදුවේ.

    ජාත්‍යන්තර මුල්‍ය නගරයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය මුල් අදියරේ දී කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානයක ස්ථානගත කිරීමට රජය තීරණය කර ඇති අතර පසුව එය මුල්‍ය නගරය තුල ස්ථාපිත කිරීමට නියමිතය.

    එම මෙහෙයුම් කාර්යාලය මගින් මුල්‍ය නගරය ගොඩ නැංවීමට අදාල නීති රාමුව සහ මෙහෙයුම් ක්‍රමවේදය නියාමනය කරනු ලබයි.

    භෞතික සම්පත් වලින් සැදුම් ලත් වරාය නගරයක් ලෙස පමණක් ඉදිකිරීමට යෝජිතව තිබු කොළොඹ වරාය නගර ව්‍යාපෘතිය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ලෙස ගොඩනැංවීමට රජය තීරණය කරනු ලැබුවේ මෙම ව්‍යාපෘතියේ සැබෑ ප්‍රතිලාභ ජාතික ආර්ථිකයට බද්ධ කිරීමේ අරමුණින් බවයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සදහන් කළේ.

    මෙම ජාත්‍යන්තර මුල්‍ය නගරය ප්‍රධාන වශයෙන් ඩුබායි සහ සිංගප්පුරුව අතර මුල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර තිබේ.

    විශේෂයෙන්ම ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික, මැදපෙරදිග සහ යුරෝපීය රටවල් සම්බන්ධ කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ කාර්යක්‍ෂම මුල්‍ය ක්‍රියාවලියක නිරත වීම මෙම මුල්‍ය නගරයේ අපේක්ෂාවයි. ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමුඛ පෙලේ බැංකු සහ මුල්‍ය ආයතන අපගේ මෙම මුල්‍ය නගරය සමඟ එක්ව කටයුතු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය. මෙම මුල්‍ය නගරය ඉදිකිරීමේදී දේශීය මෙන්ම විදේශීය මුල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ.

    ජාත්‍යන්තර ආයෝජන කලාපයක් ලෙස මෙම මුල්‍ය නගරය තුල ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දීම, ඉදිරි වසර පහ තුල දී දළ ජාතික නිෂ්පාදනයෙන් 10%ක වටිනාකමකින් යුත් මුල්‍ය වත්කම් ආයෝජනය ලබා ගැනීම, ශ්‍රී ලාංකිකයන්ට මුල්‍ය නගරය තුල විදේශ විනිමය ඉපැයීමට අවස්ථාව ලබාදීම, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය සේවා සැපයුම් ක්‍රියාවලියේ ප්‍රමුඛයෙකු බවට පත් කිරීම, මුල් අදියරේදී රැකියා අවස්ථා 15000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීම යන ප්‍රධාන අරමුණු මෙම ජාත්‍යන්තර මුල්‍ය නගර ව්‍යාපෘතිය තුලින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරයි.

    ජාත්‍යන්තර මුල්‍ය නගරය ඉදිකිරිමට සම්බන්ධ සියලු සැලසුම් සහ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි අනුමැතියට යටත්ව කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.