කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරික සංගමයෙන් යුද හමුදාපතිවරයාට සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල 3,000ක්  

    April, 8, 2020

    කොළඹ විදුලි උපකරණ  ව්‍යාපාරික සංගමය විසින් රජයේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ නිරත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත රුපියල් ලක්ෂ 30ක් පමණ  වටිනා සෞඛ්‍යාරක්ෂිත  ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

    එහි යුද හමුදාව වෙත භාර දෙන ආරක්‍ෂිත  ඇදුම් කට්ටල තොගයේ පළමු කොටස අද (08 ) දවල්  කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ  යුද හමුදාපති මේජර් ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතාට වෙත භාර දීම යුද හමුදා මුලස්ථානයේදී සිදු විය. ජායාරුපයෙන් දැක්වෙන්නේ  එම සෞඛ්‍යාරක්ෂිත  ඇදුම් කට්ටල තොගයෙන් කොටසක් කොළඹ විදුලි උපකරණ  ව්‍යාපාරික සංගමයේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා සහ එම සංගමයේ ලේකම් පී.සේකර් යන මහත්වරුන් විසින්   ශවේන්ද්‍ර සිල්වා මහතාට භාර දුන් අයුරුයි. මේ අවස්ථාවට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සහ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා ඇතුළු ජේෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද  සහභාගී වුහ. එම ඇදුම් කට්ටල පිරිනැමීමෙන් පසු යුද හමුදාපති  ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කොළඹ විදුලි උපකරණ  ව්‍යාපාරික සංගමයේ සභාපති ධම්මික සමරවික්‍රම ,එම  එම සංගමයේ ලේකම් පී.සේකර් සහ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත යන  මහත්වරුන් වෙත මෙම  සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල තොගය යුද හමුදාවට පරිත්‍යාග කිරීම වෙනුවෙන් තිළිණ ප්‍රදානයක් ද සිදු කරන  ලදී.

    යුද හමුදාපතිවරයාට  එම ඇදුම් කට්ටල ප්‍රමාණය සංකේතාත්මකව භාර දීමෙන් පසු යුද  හමුදා සැපයීම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අදාළ ආරක්‍ෂිත ඇදුම් කට්ටල තොගය භාර දීම ද  කොළඹ විදුලි උපකරණ  ව්‍යාපාරික සංගමය විසින් සිදු කරන ලදී.