ගංවතුරෙන් සංචාරක කර්මාන්තයට හානියක් නැහැ – ඇමති ජෝන් කියයි

    May, 30, 2017

    පසුගිය දින කිහිපය පුරාවට දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකම ඇති වූ ගංවතුර සහ නායයැම් තත්ත්වයන් හමුවේ සංචාරක කර්මාන්තයට කිසිදු හානියක් සිදුව නැති බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. අද (30) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, හෝටල් හිමියන්ගේ සංගමය ඇතුළු සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතන රැසක ප්‍රධානීන් මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියහ.

    ගංවතුර හා නායයෑම් තත්ත්වය ඇති වූයේ රටේ අභ්‍යන්තර කොටසකට බවත්, ප්‍රධාන සංචාරක බලප්‍රදේශ වන දකුණු, නැගෙනහිර හා බටහිර වෙරළ තීර, මහනුවර හා කොළඹ නගරවලට මෙම ආපදා තත්ත්වය හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවත් ඔවුහූ මෙහිදී කියා සිටියහ. මෙහිදී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ කිසිදු විදෙස් සංචාරකයෙකුට හෝ සංචාරක හෝටලයකට මෙම ආපදා තත්ත්වය හේතුවෙන් හානියක් සිදුවී නොමැති බවයි.

    මේ අතර අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩී විතාන මහතා කියා සිටියේ, හෝටල් හෝ සංචාරක කර්මාන්තයට සම්බන්ධ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට මෙම උවදුර හේතුවෙන් හානි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

    මෙම තත්ත්වය හේතුවෙන් 2017 වසර තුළ දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනු ලබන මිලියන 2.5 ක සංචාරකයින් ප්‍රමාණය පිළිබඳ ඉලක්කයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.