ගම්පහ සහ අත්තනගල්ල ප්‍රදේශවල සිසුන් වෙනුවෙන් එටිසලාට් සහ SOMS ‘දෙනෙතකට සෙනෙහසින්’ ව්‍යාපෘතිය දියත් කරයි

    June, 10, 2016

    ශ‍්‍රී ලංකාවේ මිලියන 20 ක් පමණ වන ජනගහනයෙන් 400,000 ක් පමණ ඇස් පෙනීම සම්බන්ධ විවිධ ආබාධවලින් පෙළෙති. මේ අතරින් 200,000 පමණ පිරිසක් අන්ධ භාවයෙන් පෙළෙන බව වාර්තා මගින් අනාවරණය වී ඇත. මේ අතරින් බහුතරක් අන්ධ භාවයට පත්වී ඇත්තේ ඇසේ සුද මතුවීම නිසා වන අතර වර්තන දෝෂ, ග්ලෝකෝමා, දියවැඩියාව, රෙටිනොපති තත්ත්වය සහ කුඩා කාලයේදීම ඇතිවන අන්ධභාවය ආදිය සෙසු හේතු ලෙස දැක්විය හැකි වේ. ඇසේ සුද මතුවීම බොහෝවිට සිදුවන්නේ වියපත් වීමත් සමගිනි. එහෙත් කලාතුරකින් දරුවන් මෙම රෝග තත්ත්වය සහිතව ඉපදීමට ඉඩ ඇති අතර ඇසට තුවාල සිදුවීම, ඉදිමුම් හෝ වෙනත් අක්ෂි දෝෂ නිසාද ඇසේ සුද මතුවීමට ඉඩකඩ පවතී.

    ගම්පහ සහ අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාශවල සිසු සිසුවියන්ට ඇස් කන්නාඩි සහ අක්ෂි ප‍්‍රතිකාර සේවා ලබාදීම සඳහා දියත් කෙරෙන ‘දෙනෙතකට සෙනෙහසින්' ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබාදීමට එටිසලාට් ලංකා සමාගම මේ වනවිට ඉදිරිපත් වී සිටී. මෙය සමාගමේ ආයතනික ප‍්‍රජා සත්කාර වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. මෙරට ආගමික උත්සව කාලවලදී ජනතාවට ඇස් කන්නාඩි දන්දීමේ වැඩසටහනක් එටිසලාට් ලංකා සමාගම කලක පටන් වාර්ෂිකව කරගෙන ආ අතර මෙම වැඩසටහන එම සත්කාරය තවදුරටත් පුළුල් කිරීමක් ලෙස හැඳින්විය හැකි වේ. සුපුරුදු ලෙසම මෙවරත් මෙම වැඩසටහන සඳහා එටිසලාට් සමග අත්වැල් බැඳගෙන සිටින්නේ So Others May See Inc. (SOMS) සංවිධානයයි. SOMS යනු මූලික වශයෙන් ජනතාවට පෙනීම ලබාදීම සඳහා කැපවී සිටින රාජ්‍ය නොවන සංවිධානයකි.

    වැඩසටහන මුලින්ම ගම්පහ සහ අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාශවලින් ආරම්භ වීමට නියමිත ය. මෙහිදී පාසල් 98 ක සිසුන් 78,612 කට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සෙත සැලසෙනු ඇත. මේ අතරින් සිසුන් 1,525 කට පමණ ඇස් කන්නාඩි ලබාදීමට නියමිත අතර තවත් සිසුන් 1,400 ක් පමණ ප‍්‍රාදේශීය අක්ෂි සායන වෙත යොමුකිරීමට නියමිත ය.

    ගම්පහ ප‍්‍රදේශයේ ගුරුවරුන්ට මේ වනවිට දෘශ්‍යාබාධ සහිත සිසුන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදී ඇත. ඇස්වල වර්තන දෝෂ සහිත සිසුන් හඳුනාගැනීම සඳහා මීට ඉහතදී පරීක්ෂාවන් සිදුකරන ලදි.

    ව්‍යාපෘතිය ආරම්භයේදී ඒ වෙනුවෙන් SOMS සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කළේ ය. මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පැවැත්වුණු 'Vision 2020' වැඩසටහන වෙනුවෙන්ද මෙම පාර්ශ්ව දෙක අත්වැල් බැඳගත් අතර එටිසලාට් ලංකා සමාගම විසින් එම වැඩසටහන වෙනුවෙන් විශේෂ පරිත්‍යාගයන්ද සිදුකරන ලදි.

    "ක‍්‍රමක‍්‍රමයෙන් අපගේ ආයතනික ප‍්‍රජා සත්කාර වැඩසටහන පුළුල් කරමින් අවසානයේදී එය මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීම අපේ ඉලක්කයි. විවිධ දුෂ්කරතා නිසා දෘෂ්ටි අබාධවලට පිළියම් සෙවීමට අපහසු වී සිටින අය විශේෂයන් තරුණ පරපුර අතර බහුලව හමුවෙනවා. එවැනි අයට යළිත් ඇස් පෙනීම ලබාදීම සඳහා මෙසේ SOMS සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ලැබීම අපට විශාල ගෞරවයක්." එටිසලාට් ලංකා සමාගමේ ප‍්‍රධාන වාණිජ නිලධාරී යසර් අබූල් අමායම් මහතා පැවසී ය.

    "මේ වසරේ දරුවන් සහ වැඩිහිටියන් 12,000 කට වැඩි පිරිසකට නොමිලේ අක්ෂි සත්කාර සේවා ලබාදීම අපේ ඉලක්කයි. කොයි කාටත් අර්ථවත් හා ඵලදායී ජීවිත ගතකිරීමේ අවස්ථාව ලැබිය යුතු බව අප විශ්වාස කරනවා. ඒ නිසා මෙවැනි සත්කාරයක් වෙනුවෙන් යළිත් වරක් එටිසලාට් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට විශාල සතුටක්." SOMS සංවිධානයේ සභාපති, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා පැවසී ය.

    එටිසලාට් ලංකා සහ SOMS සංවිධානය අතර සහයෝගීත්වය ආරම්භ වූයේ 2013 වසරේදී ය. එම වසරේ වෙසක් සමයේ කොළඹ ප‍්‍රදේශයේදී ප‍්‍රථම වරට අක්ෂි සේවාවක් නොමිලේ පැවැත්විණි. එහිදී පරීක්ෂාවට ලක්වූ 5,000 ක් පමණ දෙනා අතරින් 3,356 දෙනෙකුට නොමිලේ ඇස් කන්නාඩි බෙදාදුන් අතර ඇසේ සුද රෝගය සහිත 70 දෙනෙකු පමණ කොළඹ අක්ෂි රෝහල වෙත යොමුකරන ලදි. 2014 වසරේ වෙසක් සමයේදී ඇස් කන්නාඩි දන්සැල ගාල්ලේදී පැවැත්විණි. ඊට 2,500 ක් පමණ දෙනා සහභාගී වූ අතර ඉන් 1,867 දෙනෙකුට ඇස් කන්නාඩි ලබාදීමත්, ඇසේ සුද සහිත 44 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමත් සිදුකෙරිණි. 2015 වසරේ ඇස් කන්නාඩි දන්සැල පැවැත්වුණේ පොසොන් සමයේ කුරුණෑගලදී ය. එහිදී 4,200 ක් පමණ දෙනා පරීක්ෂාවට ලක්වූ අතර 3,602 දෙනෙකුට ඇස් කන්නාඩි පිරිනැමිණි. ඊට අමතරව ඇසේ සුද මතුවීමේ රෝගය ඇති බවට හඳුනාගත් 12 දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමුකරන ලදි.

    රටේ ප‍්‍රධාන පෙළේ සමාගමක් ලෙස ප‍්‍රජාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකිරීමට එටිසලාට් ලංකා සමාගම කවදත් කැපවී සිටී. ඒ වෙනුවෙන් ඉදිරියේදී තවත් ව්‍යාපෘති රැසක් ක‍්‍රියාවට නැංවීමට සමාගම කටයුතු යොදා ඇත.