ගල්කිස්ස ඉඩම් ගනුදෙනුව -කෙල්සි හෝම්ස් මිලියන 571 ක් වැය කරයි

    February, 26, 2014

    ගල්කිස්ස, සොයිසා මාවතේ අංක 07 දරණ ස්ථානයේ පිහිටි අක්කර 06 ක ඉඩමක් රුපියල් මිලියන 571.2 කට ඉක්විටි වන් (Equity One) සමාගම විසින් කෙල්සි හෝම්ස් ලිමිටඩ් (Kelsey Homes) සමාගමට විකුණා තිබේ.

    කෙල්සි ඩෙවලොප්මන්ට්ස් (Kelsey Developments) සමාගමට අනුබද්ධ කෙල්සි හෝම්ස් සමාගම මෙම ඉඩමේ නිවාස ව්‍යාපෘතියක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වේ.

    මෙම ගනුදෙනුව පිළිබඳව සමාගම් දෙකම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර ඉක්විටි වන් (Equity One) සමාගම Carson Cumberbatch PLC සමාගමට අනුබද්ධ සමාගමකි.

    ඉක්විටි වන් (Equity One) සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම මුදල් වලින් කොටසක් සිය මව් සමාගමට පසුගිය දෙසැම්බර් 31 වනදා වනවිට ණය වශයෙන් තිබෙන රුපියල් මිලියන 751.7 ක මුදලින් කොටසක් පියවීම සඳහා යොදා ගන්නා බවයි.