ගෑස් නැවක් සෙනසුරාදා ඇවිත්. තවත් නැවක් අඟහරුවාදා එනවා – මුදල් අමාත්‍යාංශය කියයි

    November, 3, 2019

    ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්‍රො සමාගමින් ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක හදිසි මිලදී ගැනීමක්

    මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසි මිලදී ගැනීමකට කටයුතු යොදා තිබෙන බවත් තම අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙළෙඳපොළට වහා නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    එම නිවේදනයට අනුව ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නැවක් සෙනසුරාදා (02) වරායට සේන්දු වී ඇති අතර අඟහරුවාදා (05) තවත් මෙට්‍රික් ටොන් 3,600 ක නැවක් වරායට පැමිණීමට නියමිතය. තවද එළඹෙන සෙනසුරාදා (09) ද තවත් මෙට්‍රික් න් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිතය.

    මෙහිදී මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් මෙසේ කියා සිටී.

    හදිසි මිලදී ගැනීම් යටතේ සාමන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇණවුම් කරන ලද ගැස් ද මෙට්‍රික් ටොන් 6,000 බැගින් ලබන සතිය තුළ දිවයිනට ලඟාවනු ඇත.

    ඒ අනුව පෞද්ගලික ගෑස් ආනයන සමාගමක  පැවති අඩු සැපයුම් නිසා ඇතිවූ ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන්වනු ඇති බැවින් මේ පිළිබඳව අනවශ්‍ය කලබලයට පත් නොවන්නැයි රජය  පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

    මෙම ගෑස් හිඟය අවස්ථාවක් කරගෙන ගෑස් සඟවාගෙන හා වැඩි මිලට අලෙවි කළ අලෙවි නියෝජිත වෙළඳ සැල් 40 ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් වැටලිම් කර ඇත. ඉදිරි දිනවලදී මෙම වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර එම කූට වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා තිබේ.