ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු වැඩසටහන බලගැන්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගමේ දායකත්වය

    November, 16, 2020

    ග්‍රාමීය පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසන ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු වැඩසටහන 2020 වසරේදීත් අඛණ්ඩව බලගැන්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගම ඉදිරිපත්ව සිටී. වසර 5ක ඉතිහාසයක් ඇති මෙම අනුග්‍රාහකත්ව සබැඳියාව හරහා, ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන පිට පළාත්වල පාසැල් දරුවන්ට නිවැරදි තාක්ෂණික පුහුණුව ලබාදෙන ක්‍රිකට් පුහුණු කඳවුරු සංවිධානය කෙරේ.

    සහජ දක්ෂතාවෙන් පිරි නවකයන්ට සිය කුසලතා පෙන්වීමට අවස්ථාව සැලසීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය කරුණකි. ඊට අඩිතාලමක් සැපයීමේ අරමුණින් දියත් කෙරුණු මෙම දිගුකාලීන හවුල්කාරිත්වයේ මැදිහත්වීමෙන්, පළාත්බද දක්ෂ පාසැල් ක්‍රීඩකයන්ට දිවයිනේ සිටින හොඳම පුහුණුකරුවන් සහ ක්‍රීඩා විශේෂඥයන් යටතේ තම ක්‍රිකට් කෞශල්‍යය තවත් ඔප්නංවා ගැනීමට අවස්ථාව උදාකර දෙයි. ගම්බද පාසැල් දරුවන්ට ක්‍රිකට් පුහුණු පහසුකම් සැලසීම සඳහා, ගුණ ජය සතුට පදනමේ සීනිගම මූලස්ථානය කේන්ද්‍ර කරගත් ක්‍රීඩාගාර සහ පුහුණුවීම් සඳහා යටිතල පහසුකම් නවීකරණය කරමින් ඇරඹි මෙම වැඩසටහන යටතේ, හික්කඩුව ශ්‍රී සුමංගල MCC Lords සහ සීනිගම ශ්‍රී විමලබුද්ධි Surrey Oval ක්‍රීඩාංගණ දෙක ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුල්‍ය දායකත්වය ඇතිව වැඩිදියුණු කිරීම ද සිදුකෙරිණි.

    ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ/ප්‍රධාන භාරකාර කුශිල් ගුණසේකර මහතාගේ සංකල්පයක් වන මෙම ක්‍රිකට් පුහුණු පාසැල, එම පදනමේ ක්‍රීඩා අධ්‍යක්ෂ, ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු අනුර ද සිල්වා මහතා විසින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා ප්‍රධාන විශේෂඥ පුහුණුකරුවන් මඩුල්ලකගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මාසික පුහුණු කඳවුරු වලට අමතරව, ප්‍රවීණ දෙස්විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහය ඇතිව පවත්වන විශේෂ පුහුණු සැසිවාර වලදී මෙම දරුවන්ගේ කුසලතා ඔපමට්ටම් කරගැනීමට අවස්ථාව සැලසේ. නවමු පාසැල් ක්‍රීඩකයන්ගේ සහජ ශෛලිය ආරම්භයේදීම හඳුනාගෙන ඔවුන්ගේ ක්‍රීඩා පෞරුෂය එලෙසම රැකගනිමින්, සිය දක්ෂතාව මුවහත් කරගැනීමට අවස්ථාව ලබාදීම ක්‍රිකට් පුහුණු පාසැලේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව බව, අනුර ද සිල්වා මහතා පැවසීය.

    ආරම්භයේ සිට මේ දක්වා, දකුණු පළාතේ හික්කඩුව සහ සීනිගම අවට අඩු පහසුකම් සහිත පාසැල් 20ක පමණ නවක ක්‍රීඩකයන් දහසකට වඩා ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පාසැලේ පුහුණුව ලබා ඇත. එහිදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් සඳහා විශේෂ පුහුණු සැසිවාර පැවැත්වීමද මෙම වැඩසටහන යටතේ සිදුවේ. ක්‍රිකට් පුහුණු පාසැලෙන් බිහිවූ 19න් පහළ දක්ෂයින් රැසක් මේ වනවිටත් පළමුපෙළ ක්‍රිකට් සමාජ කිහිපයක් නියෝජනය කරමින් වාර්තා රැසක් බිහිකර ඇත. දකුණු පළාතේදී ලැබූ සාර්ථකත්වය පදනම් කරගනිමින්, 2017 අගෝස්තු මස පටන් පුහුණු වැඩසටහන උතුරු සහ නැගෙනහිර පළාත්වලට ද දියත් කෙරිණි. උතුරු සහ නැගෙනහිර දෙපළාතේ මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු යාපනය, කිලිනොච්චි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මුලතිව්, වවුනියා, මන්නාරම, මඩකලපුව, කල්මුනේ සහ අම්පාර යන ප්‍රධාන නගර වල පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ද ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ගුණ ජය සතුට පදනම විසින් මෙහෙයවනු ලබයි.

    මෙම ක්‍රිකට් පුහුණු පාසැලෙන් බිහිවූ දක්ෂ පාසල් ක්‍රීඩකයින් රැසක් දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනයට සුදුසුකම් ලබා ඇත. ගාල්ල මහින්ද විදුහල් ක්‍රිකට් පිලේ නායකත්වය දරමින් පාසැල් තරගාවලියකදී ලකුණු 400ක් රැස් කිරීමේ වාර්තාවට හිමිකම් කියන, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩාකරන, නවෝද් පරණවිතාන මේ අතරින් කැපී පෙනෙන එක් ක්‍රීඩකයෙකි. රජ්ගම දේවපතිරාජ විද්‍යාල කාන්තා කණ්ඩායමේ කවිෂා දිල්හාරි, ක්‍රිකට් පුහුණු පාසැලෙන් බිහිවූ තවත් දක්ෂ ක්‍රීඩිකාවකි. ත්‍රිත්ව ශතකයකට හිමිකම් කියන ලාබාලතම පාසැල් ක්‍රීඩිකා කිරුළ හිමි කවිෂා, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩිකාව වන්නට සමත්වූවාය. මීට අමතරව, සීනිගම ක්‍රිකට් පුහුණු පාසැලෙන් බිහිවූ ක්‍රීඩිකාවන් 4දෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් 2020 ආරම්භයේ ඕස්ට්‍රේලියාවේ පැවැති T20කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම ක්‍රිකට් පුහුණු පාසැල ලද සුවිශේෂීම ජයග්‍රහණයකි.

    ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා දක්ෂතාවන් දියුණු කරමින්, සිය අනාගතය දීප්තිමත් කරගැනීමට ගම්බද දරුවන්ට දොරගුළු විවර කරදීමට ටෝකියෝ සිමෙන්ති සමාගම පසුගිය වසර 5ක කාලය පුරාවට ඉදිරිපත්ව සිටී. වසර ආරම්භයේ සිට මේ දක්වා පැනනැගුනු විවිධාකාර බාධක මධ්‍යයේ දකුණු පළාතේ පුහුණු කඳවුරු 12ක් පවත්වමින් ගුණ ජය සතුට පදනම එම මෙහෙවර සාර්ථක කරගැනීමට විශාල දායකත්වයක් සපයා ඇත. දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට ශක්තිමත් පදනමක් සපයමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද ප්‍රදේශ වල දරුවන්ටත් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාවන් උදා කරදීමයි.