ගුවන්ගත වෙන්නත් වැට් ගෙවන්න වෙයි

    September, 14, 2016

    ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන්තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව, එකතු කළ අගය මත බදු අයකිරීමට යටත් බව එකතු කළ අගය මත බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත තුළින් ප්‍රකාශයට පත් වී තිබේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙසේය.

    2016 අයවැය යෝජනා පරිදි, 2016-03-04 දින පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය පරිදි සහ 2016-06-15 දින පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ එකතු කළ අගය මත බදු (VAT) සම්බන්ධයෙන් වන විධිවිධාන සංශෝධනය කිරීමට තීරණය කරන ලදී.

    ඒ අනුව, වැට් බදු සංශෝධනයට අදාළව මුලින් ඉදිරිපත් කරනු ලැබ තිබූ පනත් කෙටුම්පත වෙනුවට, පහත සඳහන් යෝජනා ඇතුළත් කරමින් සංශෝධනය කරන ලද, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    (i) එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය 15%ක් ලෙස පවත්වා ගැනීම;

    (ii) එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට දැනට අදාළ පිරිවැටුම වන වර්ෂයකට රුපියල් මිලියන 15ක හෝ කාර්තුවකට රුපියල් මිලියන 3.75ක් වන සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12ක් හෝ කාර්තුවකට රුපියල් මිලියන 3ක් දක්වා අඩු කිරීම;

    (iii) පහත සඳහන් භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත බදු පැනවීම;

    * වාර්ෂික මුළු පිරිවැටුම රුපියල් මිලියන 50ක් (කාර්තුවකට රුපියල් මිලියන 12.5) හෝ ඊට වැඩි තොග සහ සිල්ලර වෙ‍ළඳාම;

    * රෝග විනිශ්චය පරීක්ෂණ (diagnostic tests), කාන්දු පෙරණ (dialysis) සහ වෛද්‍ය උපදේශක සේවා ඇතුළත් නොවන බාහිර රෝගී (OPD) සේවාවන් හැර අනෙකුත් පෞද්ගලික සෞඛ්‍ය සේවා;

    * විදුලි සංදේශ සේවා;

    * දුම්කොළ නිෂ්පාදන;

    * සීනි හෝ වෙනත් පැණිරස කාරක ද්‍රව්‍ය එකතු කරන ලද කිරිපිටි;

    * ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන්තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව;

    (iv) 2015-11-01 දිනට පෙර අනුමත වූ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති හෝ 2016-10-01 දිනට පෙර විකුණුම් ගිවිසුමට එළඹෙන ලද හෝ එදිනට ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ලැබ ඇති ව්‍යාපෘති හැර ව්‍යාපෘතියේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 05ට වැඩි ව්‍යාපෘති මඟින් සිදු කරනු ලබන නේවාසික නවාතැන් පහසුකම් සැපයීම, බදු දීම හෝ කුලියට දීම පිළිබඳව වන සේවාවන් සඳහා දැනට පවතින වැට් බදු නිදහස සීමා කිරීම;

    (v) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි සමාගම් විසින් දේශීය වෙළඳපොළට සපයනු ලබන ඇඟලුම් ඒකකයක්/කෑල්ලක් (piece) මත අය කරනු ලබන බද්ද රුපියල් 75/-ක් ලෙස වැඩි කිරීම;