September, 3, 2022
”ශ‍්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය” යන මැයෙන් සංසරණය වන ප‍්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම.
”ශ‍්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය” යන මැයෙන් නිකුත් කරන ලද මෑත කාලීන මාධ්‍ය ප‍්‍රකාශයන් හා බැඳේ.
එකී මාධ්‍ය ප‍්‍රකාශයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී, එහි සඳහන් වන්නේ රාජ්‍ය ව්‍යවසායන් 05 ක් දිනකට රුපියල් බිලියන 7.76 ක සමස්ත පාඩුවක් ලබන බවයි. අපගේ සමාගම වන, ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම එම රාජ්‍ය ආයතන වලින් එකක් ලෙස ලැයිස්තුගත කර ඇත.
ඒ අනුව අප සමාගමද රජයට තවත් එක් මූල්‍යමය පාඩුවක් ගෙනදෙන රාජ්‍ය ව්‍යවසායයක් බවට මේ පුවත සාමාන්‍ය ජනතාවගේ සිත් තුළ හැඟීමක් ඇති කරනු ලබයි. මෙහිදී මූලිකවම, අප සමාගම රජයට මූල්‍යමය පාඩුවක් අත්කර නොදෙන රටට කිසිසේත්ම බරක් නොවන ආයතනයක් බව තරයේ ප‍්‍රකාශ කර සිටින අතර, අප සමාගමේ මූල්‍ය තත්ත්වය පහත පරිදි පැහැදිලි කිරීමට අපි කැමැත්තෙමු.
ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම යනු සම්පූර්ණයෙන්ම රජයට අයත් පුද්ගලික සමාගමකි. අපි ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ශ‍්‍රී ලංකාව තුළ අපට අයත් ගුවන් සීමාව ඇතුළත ගුවන් තොටුපළ සේවා සහ ගුවන් සංතරණ සේවා සපයන්නෙමු. එක්සත් රාජධානියේ ලන්ඩන් හි පිහිටි ජාත්‍යන්තර ගුවන් ප‍්‍රවාහන ශේණිගත කිරීමේ සංවිධානය වන "Skytrax" විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිරන්තරයෙන් ඉහළ අගයක් ලබා ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ Global Region-Indian/South Asia විසින් 2022 වසරේ හොඳම ගුවන් තොටුපල කාණ්ඩයේ 5 වන ස්ථානය හිමිකරගෙන ඇත. මේ වන විට අප සමාගමේ සේවකයන් 4,000කට ආසන්න පිරිසක් සේවය කරනු ලබයි.
2019 වර්ෂයේදී සිදුවූ අවාසනාවන්ත පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මුහුණ දුන් කොවිඞ් - 19 වසංගතයත් සමඟ ඇති වූ ආර්ථික අවපාතයට පෙර, අප ලාභාංශ සහ බදු මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට නිතිපතා විශාල අරමුදල් ප‍්‍රමාණයක් අඛණ්ඩවම ලබා දුන් ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ලාභ උපයන රාජ්‍ය අංශයට අයත් පුද්ගලික ව්‍යාපාරයක් විය. පහත වගුවේ දැක්වෙන්නේ 2009 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ අප සමාගමේ මූල්‍යමය තත්ත්වයයි.

ඉහත දත්තයන් සලකා බලන කල, ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සුවිශේෂී ලෙස ක‍්‍රියා කළ බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත්, සමස්ත ගෝලීය ගුවන් සේවා අංශයම අඩපණ කළ කොවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන්, ජාත්‍යන්තර මගී සහ ගුවන් යානා සංචලනය පහත වැටීම ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම හි ආදායමටද දැඩි ලෙස බලපෑවේය. උදාහරණයක් ලෙස, සිංගප්පූරුවේ චැංගි අන්තර්ජාතික ගුවන්තොටුපළේ මගී සංචලනය 2019⁄2020 දී මිලියන 62.9 සිට 2020⁄2021 වන විට මිලියන 1.1 දක්වා අඩු වී ඇති අතර, සමස්ථ ආදායම සිංගප්පූරු ඩොලර් මිලියන 3,119 සිට සිංගප්පූරු ඩොලර් මිලියන 697 දක්වා පහත වැටී ඇත.
එම ගෝලීය බලපෑම අප මූල්‍ය ක්ෂේත‍්‍රයටද බලපාන ලද අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ගුවන් යානා සහ මගී ප‍්‍රවාහනය සැලකූ විට, ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම යටතේ ශ‍්‍රී ලංකාවේ සියලූම ගුවන් තොටුපළ විසින් හසුරුවන ලද මුළු ජාත්‍යන්තර ගුවන් යානා සංචලන සංඛ්‍යාව 2019 දී 62,195 සිට 2020 දී 20,881 දක්වා පහත බැස ඇති අතර එය 66% ක පහත වැටීමකි. ඒ අතරම, ජාත්‍යන්තර මගී සංචලනය 2019 දී මිලියන 9.9 සිට 2020 දී මිලියන 2.3 දක්වා පහත වැටී ඇති අතර එය 76% ක පහත වැටීමකි. කෙසේ වෙතත්, වෙනත් කිසිම රාජ්‍ය ව්‍යවසායකට වඩා කොවිඞ්-19 වසංගත කාලසීමාව තුළ පැය 24 පුරාවටම ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු පවත්වාගනිමින් ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් උර දී ඇති ජාතික වගකීම ඉස්මතු කර දැක්වීම මෙහිදී ඉතා වැදගත්ය, එහි සේවකයින් ඔවුන්ගේ සහ ඔවුනගේ පවුල්වල ජීවිතවලට මුහුණ දීමට සිදුවූ අභියෝග නොතකා විදෙස්ගතව සිටි ශ‍්‍රී ලාංකික සිසුන් මුදාගැනීම සහ ශ‍්‍රම බලකායේ නියුක්තවූවන් නැවත තම මවු රටට රැගෙන ඒම, කොවිඞ්-19 එන්නත් තොග මෙරටට රැගෙන ඒම සහ අප රටට හිමිවූ විදේශ ආධාර ගුවන් මගින් රැගෙන ඒම සහ ගුවන් මගින් භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා පහසුකම් සැලසීම යන කාරනා තුළින් රටට සිදුකළාවූ මෙහෙය අතිමහත් බව ප‍්‍රකාශ කළ යුතු අතර ඒ පසුගිය කාලසීමාව තුල පළවූ පුවත් දෙස ආපසු හැරී බලන කල එය මනාව පසක් වනු ඇත.
එසේම, කොවිඞ්-19 වසංගත හා ආර්ථික අවපාතය හමුවේ වුවද, අප රටට පිවිසීමේ ප‍්‍රධානතම ද්වාරය ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, 2021 දී රුපියල් මිලියන 3,967 සහ 2022 ජුනි මාසය තෙක් රුපියල් මිලියන 16,715 ක ලාභයක් ද වාර්තා කළේය. තත්වය එසේ වුවත්, සමස්තයක් ලෙස සමාගමේ මෙහෙයුම් අලාභයක් වාර්තා වන්නේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් ණය මත විදේශ විනිමය වශයෙන් ණය වාරික ආපසු ගෙවීම හේතුකොටගෙනය. 2019 ට පෙර අප ¥රදර්ශී ලෙස ගොඩනගා ගත් සංචිත සහ මෙකී කාලවකවානුව තුළ උපයාගත් ඉතා අඩු ආදායම් තත්වය යටතේ මෙම අභියෝගාත්මක කාල සීමාවේදී අප සමාගම නිසි පරිදි රජයට කිසිදු බරක් නොවී කළමනාකරණය කර පවත්වාගෙන යාම අඛණ්ඩව සිදු කළ බව මෙහිලා අප අවධාරණය කිරීමට කැමැත්තෙමු. මෙහිදී අවධාරණය කරනු ලබන තවත් එක් සුවිෂේශී කරුණක් වන්නේ, මේ කිසිදු කරුණක් හේතුවෙන් තව දුරටත් කිසිම අයෙකුට ඔවුනගේ රැකියා අහිමි නොකර අප අපගේ මානව සම්පත නිසි පරිදි කළමනාකරණය කරගෙන යාමයි. තවද, රජය සතු කීර්තිමත් ව්‍යවසායයක් ලෙස අප ශ‍්‍රී ලංකා රජයට ලාභාංශ සහ බදු ගෙවමින් අපගේ ජාතික වගකීම මේ තාක් නොපිරිහෙලා ඉටු කර ඇත.
පහත ඉදිරිපත් කර ඇති සංඛ්‍යා දත්ත අනුව වසර ගණනාවක් පුරා අප අපගේ ගුවන්තොටුපළ ගුවන් යානා සහ මගීන්ගේ චලනයන් වෙනස් වී ඇති ආකාරය පෙන්වනු ලබයි.

ඉහත සංඛ්‍යාලේඛන මගින් පැහැදිලිව පෙන්නුම් කර ඇති පරිදි, මගී සහ ගුවන් යානා සංචලනය යන අංශ දෙකෙහිම පහත වැටීම 2019 සහ ඉන් පසුව ගෝලීය සහ දේශීය සිදුවීම් සමග සමපාත වේ. ගුවන් සේවා කර්මාන්තය දැඩි ලෙස ලෝක ආර්ථිකයට, සෞඛ්‍යයට සහ දේශපාලන තත්ත්වයන්ට අනුගතව සමානුරූපීව වෙනස්වන බැවින්, අප සමාගමේ සමස්ත ආදායම සහ ලාභයද අපගේ සෘජු පාලනය තුළ නොමැති බාහිර සාධක මත දැඩි ලෙස රඳා පවතී. අප සමාගම දැනට මුහුණ දී සිටින අයහපත් මූල්‍ය තත්ත්වය මෙකී අපගේ පාලනයෙන් තොර බාහිර කරුණු නිසා ඇති වූවක් වන අතර, එය වැරදි කළමනාකරණයේ හෝ දුර්වල ව්‍යවසායකත්වයේ ප‍්‍රතිඵලයක් නොවන බව අප තවදුරටත් අවධාරණය කරන්නෙමු.
එමෙන්ම අප සමාගම මේ දක්වා රටේ ආර්ථිකයට හෝ බදු ගෙවන මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිඳු ආකාරයකින් බරක් නොවූ බවත්, ක‍්‍රමානුකූලව බාහිර පරිසරය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉතා ඉක්මනින්ම අපගේ මූල්‍යමය තත්ත්වය යළි ස්ථාවර භාවයට පත්කරගෙන ශ‍්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික ප‍්‍රගමනය උදෙසා දායක වෙමින් රාජ්‍ය අංශයේ කීර්තිමත් ආයතනයක් වශයෙන් රටේ ආර්ථිකයේ මාහැඟි කර්තව්‍යක් ඉටුකරමින් විශිෂ්ටත්වයේ ගමනක අඛන්ඩව නිරතවීමට හැකිවනු ඇතැයි අපි සුබවාදීව අවධාරණය කරන්නෙමු.
ඒ අනුව සංසරණය වන්නාවූ විවිධ පුවත් අනුව සත්‍ය නොවන කරුණු හේතුවෙන් වැරදි අවබෝධයක් සාමාන්‍ය ජනතාව තුළ ඇතිකෙරෙන බැවින්, කීර්තිමත් මාධ්‍ය ආයතනයක් ලෙස ඔබ ආයතනයෙන් ඒ පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා දෙමින් අප රටේ සාමාන්‍ය ජනතාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Video Story