ගුවන් මගියෙක් හදිසියේ ලෙඩවෙයි. ලන්ඩන් සිට කොළඹ ආ ශ්‍රීලංකන් යානය රුමේනියාවට ගොඩබස්වයි

    March, 25, 2019

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ UL504 දරණ ලන්ඩන් නුවර සිට කොළඹ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානය මාර්තු මස 25 වන දින මගියෙකුගේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් මත රුමේනියාවේ බුකරස්ට් (Bucharest) වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

    ගුවන් සේවය සමඟ පියාසර කරන සියළුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිපත්තිය වන අතර ඒ අනුව හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් මත ගුවන් කපිතාන්වරයා විසින් ගුවන් යානය ළඟම පිහිටි ගුවන් තොටුපොළ වූ  බුකරස්ට් හෙන්රි කොඅන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබස්සවන ලදී.

    ඒ අනුව ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසුව ගුවන් තොටුපලේ වෛද්‍යවරු වහාම ගුවන් යානයට ගොඩවූ අතර, වකුගඩු රෝගයෙන් පෙළෙන බවට සැක කරන ලද මගියා වෙත වෛද්‍ය ආධාර ලබාදී ඇත. එම ගුවන් මගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට යහපත් අතට හැරෙමින් තිබෙන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කර සිටී.

    අන්තර්ජාතික ගුවන් සේවා නීති රීති අනුව නියමිත පියාසර කාලය ඉකුත් වීමෙන් පසු තාක්ෂණික කාර්යය මණ්ඩලයට එකදිගට පියාසර කළ නොහැකි වන  අතර ,  විශේෂයෙන්ම ඉන්ධන පිරවුම් , නඩත්තු, ගුවන්යානා ලියකියවිලි හා ඉංජිනේරු පරීක්ෂාවන් සිදු කිරීම සඳහා Henry Coanda ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඉංජිනේරුවන්ට යම් කාලයක් අවශ්‍ය වේ. සෑම ගුවන් තොටුපළකම ගුවන් යානයක් පියාසර කිරීමට ඉංජිනේරුවන්ගේ සහතිකය ඔවුන් විසින් නිකුත් කිරීම අවශ්‍ය වන අතර එය  ගුවන් ගමනේ ආරක්ෂාවට ඉතා වැදගත් වේ.

    එබැවින් ගුවන් යානයේ ගමන්ගත් මගීන් 195 ක් බුකරස්ට් නුවර හෝටල් වල නවාතැන් පහසුකම් ලබා දී ඇති අතර ජාත්‍යන්තර නියාමයන් විසින් නියම කරන ලද කාල සීමාව තෙක් ගුවන් කාර්ය මණ්ඩලය ද විවේක ගනු ඇත. ඉන් පසුව  හැකි ඉක්මනින් මෙම ගුවන් යානය කොළඹට ලඟා වනු ඇත.

    මානව අවශ්‍යතාවක් හේතුවෙන් ඇති වූ මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් UL504 හි ගමන් ගත් මගීන් ඉතා අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳ සම්මානලාභී ජාතික ගුවන් සේවකයක් වන ශ්‍රීලංකන් ගුවන් සමාගම කෘතඥපූර්වක වන බව දන්වා සිටී.