ගෝල්ඩන් කී මුදල් ආපසු ගෙවීම අර්බුදයේ ?

    May, 25, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබෙන වසර හයක පමණ කාලයක් විභාග කර තිබෙන නඩුව ඉල්ලා අස්කර නොගන්නා බව ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිනිය වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කරයි.

    අප සමග සම්බන්ධ වෙමින් ඇය පැවසුවේ මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව තැන්පතුකරුවන්ගේ මුදල් ගෙවීමට සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළත් එසේ ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට නොහැකි බවයි.

    බංකොලොත් වූ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සහ තවත් තැන්පතු කරුවන් 23 දෙනෙකු විසින් තමන්ගේ තැන්පතු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබෙන්නේ 2009 වසරේ මාර්තු 23 වනදායි.

    මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළේය.
    මුදල් ආපසු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පනවා තිබෙන සියළුම නඩු ඉල්ලා අස්කර ගැනීමට තැන්පතු කරුවන් එකඟ වී ඇතැයි අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත සඳහන් කළේය.

    මුදල් අමාත්‍යවරයා පැවසුවේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ හඳුනාගෙන තිබෙන වත්කම් වලින් මහ බැංකුව තැන්පතු කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ආරම්භ කරනු ඇති බවත් සමාගමේ සහ අධ්‍යක්ෂවරුන් සතු අනිකුත් වත්කම් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

    රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේය.

    ඉතිරිය ගෙවීමට සැලසුම් කර තිබුණේ මේ වසර අවසන් වීමට පෙරයි.

    දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කළේ මේ ආකාරයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 26 ක් පමණ වනු ඇති බවයි.