ගෝල්ඩන් කී මුදල් ආපසු ලැබීමේ බලාපොරොත්තුව 41% කින් ඵල දරයි

    June, 18, 2015

    ‘ගෝල්ඩන් කී‘ තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදලින් 41% ක මුදලක් ලබාදීමට රජය එකඟතාව පළ කර තිබේ.

    ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කර එම මුදල් අහිමි වූ පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් අදාළ දැනුම්දීම සිදුකළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

    ඒ අනුව, ගෝල්ඩන් කී සමාගමේ සියලුම තැන්පත් කරුවන්ට තැන්පතු මුදලින් 41% ක මුදලක් ලබාදෙන බවත්, අදාළ මුදල වසරක පමණ වූ උපරිම කාලසීමාවක් තුළ ගෙවා නිම කිරීමට තීරණය කර ඇති බවත් රජයේ නීතීඥවරයා විසින් එහිදී ප්‍රකාශකර තිබේ.

    මෙම වැඩපිළිවෙළ සඳහා ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය ලබාගත් බවද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා ඇත.

    කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එළඹෙන 25 වන දින යළි කැඳවීමටද නියෝග කර ඇති බව අප අධිකරණ වාර්තාකරු කියා සිටියේය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇති බවයි.

    මුදල් ආපසු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පනවා තිබෙන සියළුම නඩු ඉල්ලා අස්කර ගැනීමට තැන්පතු කරුවන් එකඟ වී ඇතැයි අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත සඳහන් කළේය.

    මුදල් අමාත්‍යවරයා පැවසුවේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ හඳුනාගෙන තිබෙන වත්කම් වලින් මහ බැංකුව තැන්පතු කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ආරම්භ කරනු ඇති බවත් සමාගමේ සහ අධ්‍යක්ෂවරුන් සතු අනිකුත් වත්කම් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

    රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේය.

    ඉතිරිය ගෙවීමට සැලසුම් කර තිබුණේ මේ වසර අවසන් වීමට පෙරයි.