ගෝලීය ණයහිමියන් විසින් මෙතෙක් සපයන ලද මූල්‍ය සහතිකකිරීම් සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලයේ පැසසුම්

    February, 13, 2023

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි මාණ්ඩලික අනුමැතිය ලබා ගැනීම සඳහා මෙතෙක් ණයහිමියන් විසින් සපයන ලද මූල්‍ය සහතික කිරීම් ලංකා වාණිජ මණ්ඩලය සාදරයෙන් පිළිගන්නා අතරම ඒ පිළිබද සිය පැසසුම ද පළකරයි.

    ඉන්දියාව, ජපානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි සාමාජික රටවල් ඇතුළු පැරිස් සමාජයේ සාමාජිකයින් සහ හංගේරියාව වැනි සාමාජික නොවන රටවල් විසින්ද නිකුත්කරන ලද කාලෝචිත නිවේදන, මේ අවස්ථාවේ ව්‍යාපාරික ප්‍රජාව වෙත මහගු දිරිගැන්වීමක් ලෙස සලකන අතර, එය ඔවුන්ගේ ඇගයිමට පාත්‍රකරයි.

    ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වීමට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් විසින් ලබා දී ඇති සහතික කිරීම් ද අපව දිරිමත් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි, අරමුදල් වැඩසටහන සදහා කඩිනම් අනුමැතියක් ලබා ගැනීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව, චීනය ඇතුළු අනෙකුත් වාණිජ සහ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ද මෙවැනිම සහතික කිරීම් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවෙහි ආර්ථික සංවර්ධනය සඳහා චීනය ලබා දෙන සහයෝගය වාණිජ මණ්ඩලය ඉතා අගය කරන අතර ප්‍රධාන ද්විපාර්ශ්වික ණය සපයන්නෙකු වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි, අරමුදල් වැඩසටහන සුරක්ෂිත කිරීම, වත්මන් ආර්ථික අවිනිශ්චිතතාවය අඩු කරනු ඇති අතර, එය ශ්‍රී ලංකාවෙහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන්හි තීරණාත්මක පළමු පියවර වනු ඇත. මේ වනවිටත්, රජය මූලික ප්‍රතිසංස්කරණ මාලාවක් සිදු කර ඇති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි, මාණ්ඩලික අනුමැතියෙන් අනතුරුව ආර්ථික පුනර්ජීවනය සඳහා පිටුබලයක් සපයනු ලබන තවත් ප්‍රතිසංස්කරණ සිදුවනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. අරමුදල් වැඩසටහනෙහි අඛණ්ඩ ප්‍රමාදයන් ශ්‍රී ලංකාව අතිශය අවදානමට ලක්විය හැකි සමාජ හා ආර්ථික තත්ත්වයකට පත් කරනු ඇති බැවින්, මෙතෙක් ලැබී ඇති සහතිකවීම් සලකා බලා අනුමත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටී.