ගෝලීය බලාත්මක වෙළෙඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව 96 සිට 103 ට පසුබසී

    December, 5, 2016

    ලෝක ආර්ථික සංසදය (World Economic Forum) හා වෙ‍ළෙඳ පහසුකම් සඳහා වන ගෝලීය එකමුතුව (Global Alliance for Trade Facilitation) විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ගෝලීය බලාත්මක වෙළෙඳ වාර්තාව 2016 (Global Enabling Trade Report 2016) පසුගිය දා එළිදක්වන ලදී.

    කාණ්ඩ 7 ක් යටතේ සීමා මායිම් හරහා වෙළෙඳාම සඳහා පහසුකම් සැපයීමට සමත් ආර්ථික මෙම වාර්තාව මගින් ප්‍රකාශයට පත්වනු ඇත. දේශීය වෙළෙඳපොළ ප්‍රවේශය, විදේශීය වෙළෙඳපොළ ප්‍රවේශය, සීමා පරිපාලනය, ප්‍රවාහන යටිතල පහසුකම්, ප්‍රවාහන සේවා, තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා මෙහෙයුම් පරිසරය මෙම වාර්තාව පිළියෙල කිරීමේ දී සලකා බලන ලද මූලික කාණ්ඩ වේ.

    මෙහිදී ප්‍රකාශයට පත්වූ නවතම වාර්තාවට අනුව රටවල් 136 ක් අතුරින් ගෝලීය බලාත්මක වෙළෙඳ දර්ශකයේ 103 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව විසින් ලබා ඇති ලකුණු ප්‍රමාණය 3.90 කි. මීට පෙර ප්‍රකාශයට පත්කර ඇති ගෝලීය බලාත්මක වෙළෙඳ වාර්තාව 2014 වසරේ දී එළිදක්වා තිබෙන අතර ඊට අනුව ලකුණු 3.87 ක් ලබා 96 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත. එවර වාර්තාව සකස් කිරීම සඳහා සලකා බලා ඇති රටවල් සංඛ්‍යාව 134 කි.

    දකුණු ආසියානු කලාපය තුළ මෙම වාර්තාවට අනුව ඉහළ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට සමත් වූ ආර්ථිකය ලෙසින් භූතානය හැඳින්විය හැකිය. එහිදී භූතානය ස්ථාන 12 ක් ඉදිරියට ගොස් 92 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට නවතම වාර්තාව අනුව සමත් වී ඇත. මීට අමතරව 2016 වාර්තාව අනුව ඉන්දියාව - 102, නේපාලය - 108, පාකිස්තානය - 122 හා බංග්ලාදේශය - 123 යන ස්ථානවලට පත්ව තිබේ.

    2016 ගෝලීය බලාත්මක වෙළෙඳ දර්ශකයට අනුව පළමු තැන සිංගප්පූරුවට හිම තිබෙන අතර රටවල් 136 ක් අතුරින් අවසාන ස්ථානයට වෙනිසියුලාව පත්ව තිබේ.

    පහත දැක්වෙන්නේ Global Enabling Trade Report 2016 වාර්තාවයි.


    සම්පූර්ණ වාර්තාව සඳහා - http://www3.weforum.org/docs/WEF_GETR_2016_report.pdf