චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් සහ ලංකා බැංකුව ඩොලර් මිලියන 140ක ණය ගිවිසුමකට අත්සන් තබයි

    June, 30, 2020

    ලොව විශාලතම සංවර්ධන බැංකුව වන චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් සහ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව අතර ඩොලර් මිලියන 140 ක මූල්‍ය පහසුකමක් වෙනුවෙන් අද (30) දින ගිවිසුම්වලට එළඹෙන ලදී.

    මේ අනුව ඉතා සහන කොන්දේසි සහ අඩු පොළී අනුපාතිකයක් යටතේ චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් ඩොලර් මිලියන 140 ක ණය මුදලක් ලංකා බැංකුව වෙත ලැබෙන අතර එයින් කොටසක් කොවිඩ් වසංගතය හේතුවෙන් අඩපණ වී ඇති ව්‍යාපාර යළි නඟා සිටුවීමට යෙදීමට ද නියමිතය.

    මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු, සුගත් ගුණසේකර මහතා මෙසේ කියා සිටියේය.

    “අද ලංකා බැංකුව, චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් කියන ලෝකේ තියෙන විශාලතම සංවර්ධන බැංකුවත් සමඟ ගිවිසුමක් අත්සන් කළා. ලංකා බැංකුවට ඩොලර් මිලියන 140 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා. මූලික වශයෙන් ලංකා බැංකුවේ තිබෙන ශක්තියත්, ශේෂ පත්‍රයේ තිබෙන විශාලත්වයත් සලකා බලා චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් මේ ණය මුදල ලංකා බැංකුවට දෙන්න කටයුතු කළා.“

    “මේ වෙලාවේ මුළු ලෝකේම ආර්ථික අර්බුදයක තිබෙන අවස්ථාවක්. ඒ අවස්ථාවක, ලංකා බැංකුවට, මෙවැනි ජාත්‍යන්තර ආයතනයකට ගොස් මෙයාකාරයෙන් මුදල් ලබා ගැනීමට හැකිවීම වටිනා දෙයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඉතා සහන ණය කොන්දේසි යටතේ, අඩු පොළී අනුපාත යටතේ අපට ලැබිලා තිබෙනවා. ඒ නිසා අපගේ රටේ අවශයතාවයන් වෙනුවෙන් මේ මුදල් යොදා ගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ වගේම මෙම මුදල් වසර 3ක කාලයක් සඳහා ලැබිලා තිබෙන්නේ. එබැවින් මෙය තරමක් දුරටට දිගුකාලීන ණයක් හැටියට සලකන්න පුළුවන්. ලංකා බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය එයින් පෙනෙනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර දශක ගණනාවක් පවතින සම්බන්ධතාවය මීට හේතුවෙලා තිබෙනවා.“

    “ලංකා බැංකුව සහ චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් අතර මීට අවුරුදු 10කට කලින්, 2010 වසරේ දී මේ වගේම ණය මුදලක් අවුරුදු 5ක කාලයක් සඳහා ලබං ගත්තා. අපි ඒ ණය මුදල නිසි විදියට ගෙවලා තිබෙනවා. ඒ අනුව මේ සබඳතාවය දශකයකට වඩා පැරණියි. මේ සබඳතාවය දිගින් දිගටම ඉදිරියට පවත්වාගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා. රටේ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර ආයතනවල සහයෝගය ලබා ගෙන අපේ ජනතාවට සුඛිත මුදිත ජීවිතයක් ලබා දීම සඳහා, ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා ලංකා බැංකුව ඇපකැප වී කටයුතු කරනවා.“

    “මේ මුදලින් කොටසක් කොවිඩ් වසංගත තත්ත්වය නිසා අඩපණ වී තිබෙන ව්‍යාපාර නගා සිටුවීම සඳහා යොදා ගන්න. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත, ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතාවයන් තිබෙන ඒ කර්මාන්ත, නඟා සිටුවීම සඳහා මෙයින් කොටසක් යොදවනවා. ඒ වගේම විශාල පරිමාණයේ කර්මාන්තවලටක් මේ අවස්ථාවේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ඇතිවෙලා තිබෙනවා. ඒවා සඳහාත් යම් කොටසක් යොදවනවා. මෙම ණය මුදල ලබා ගැනීමේ තවත් අරමුණක් ලෙසින් මේ පසුබෑමට ලක් වූ ව්‍යාපාර නඟා සිටුවීම හැඳින්විය හැකියි.“

    කොවිඩ්-19 ව්‍යසනය හේතු කොට ගෙන මෙම ගිවිසුම සඳහා වූ අත්සන් තැබීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දෙරටම සම්බන්ධ කර ගනිමින් සිදු වූ අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් එහි ආර්ථික සහ වානිජ කොන්සියුලර් යැං හුවොයුආන්, ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ, ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ. ගුණසේකර, ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආර්.එම්.පී. රත්නායක සහ චීන සංවර්ධ බැංකුවේ ගුවාන්ෂි ශාඛාවේ සාමාන්‍යාධිකාරී මෙයි ශිවාන් මහත්වරු සහභාගී වූහ.

     

    ඡායාරූපය - ලංකා බැංකුව වෙනුවෙන් ගිවිසුම සඳහා අත්සන් තැබූ ලංකා බැංකු සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතා