චීන්නු සියළුම වාර්තා කඩයිද? සැප්තැම්බරයේ අපේ සංචාරක දත්ත මෙන්න

    October, 6, 2014

    මෙරට සංචාරක කර්මාන්තය නැංවීමේ අරමුණෙන් පුළුල් වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන අතර මහා පරිමාණයෙන් මෙරට හෝටල් ඉදිවන්නේය.

    රජය විසින් එළිදක්වා තිබෙන 2014 සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ දත්ත වලින්ද අනාවරණය වන්නේ මෑත කාලීනව ලංකාව කෙරෙහි වැඩිම කැමැත්තක් දක්වා තිබෙන සංචාරකයින් කණ්ඩායම වන්නේ චීන සංචාරකයින් බවයි.

    2013 වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස 09 තුළ ලංකාවට චීන සංචාරකයින් පැමිණ තිබුණේ 39,354 කි. නමුත්, මේ වසරේ සැප්තැම්බර් දක්වා මාස 09 තුළ මෙරටට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය 94,994 කි. එය ගිය වසරට වඩා සියයට 141 ක වැඩිවීමක් වන අතර වැඩිම වර්ධනයක් පෙන්නුම් කර තිබෙන රට වන්නේද චීනයයි.

    මීට අමතරව, මේ වසරේදී ඉන්දියාව හා එංගලන්තය හැරුණු කොට තුන්වැනියට ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබෙන රට වන්නේ චීනයයි.

    ගිය වසරේදී චීනය තුන්වන ස්ථානයේ නොසිටි අතර ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින යන රටවල් වලට වඩා පහළින් තිබුණි. නමුත්, මේ වසරේ මේ දක්වා ලංකාවට චීනයෙන්, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින යන රටවල් වලටත් වඩා සංචාරකයින් පැමිණ තිබේ.

    මේ සැප්තැම්බර් මාසයේදී ලංකාවට සංචාරකයින් 105,535 ක් පැමිණ තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 16.8 ක වර්ධනයකි.

    මීට අමතරව, මේ වසරේ සැප්තැම්බර් දක්වා මාස 09 තුළ ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය එකොලොස් ලක්ෂ හත් දහස ඉක්මවා ඇත. එය සියයට 22.4 ක වර්ධනයකි.
    0102