May, 31, 2019
දැනට ශ්‍රී ලංකාව තුළ චීන කම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් විශාල වශයෙන් දුම්පානය කරනු ලබන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. කෙසේ වෙතත් ඔවුන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සිගරට් සඳහා කැමැත්තක් නොදක්වන බවත්, ඔවුන් වැඩි වශයෙන් පෙළඹී ඇත්තේ චීනයෙන් ගෙන්වන සිගරට් පානය කිරීම සඳහා පමණක් බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඊයේ (30) මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර නිල නොවන මට්ටමින් ශ්‍රී ලංකාවට ගෙන එන සිගරට් නිල මට්ටමෙන් ගෙන්වීම හරහා රජයට ආදායමක් ලබා ගැනීම සිගරට් ආනයනය කිරීමේ අරමුණ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
“පසුගිය අයවැයේ දී පැහැදිලිවම කිව්වා සිගරට් ආනයනය කරන්න අවස්ථාව තියෙනවා කියලා.“
“අද බැලුවොත් කොළඹ, චීන කම්කරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. පෙර හිටපු චීන තානාපතිතුමා පවා මට වරක් කිව්වේ, ඒ අය විශාල වශයෙන් සිගරට් බොනවා. නමුත් ඒ අයට හරියන්නේ චීන සිගරට් විතරයි. ඒ අයට ලංකාවේ ගෝල්ඩ්ලීෆ් එකවත්, බෙන්සන් හෙජ් එකවත් මුකුත් නෙමෙයි.“
“ඇත්තවශයෙන්ම මේ අය සඳහා විශාල වශයෙන් නිල නොවන මට්ටමින් සිගරට් එනවා. ඉතිං ඊට වඩා හොඳයි, නිල මට්ටමෙන්ම සිගරට් ගෙන්නලා, ඒ ආදායම රජයට ලබාගැනීම.“
“දුම්පානය අඩුකිරීම තමයි රජයේ ප්‍රතිපත්තිය. දුම්පානය කරන අයගෙන් රජයට බද්දක් අයකිරීම තමයි මෙයින් කෙරෙන්නේ.“
මෙරට දේශීය වශයෙන් සිගරට් නිෂ්පාදනය හා අලෙවිය සඳහා අවසරලත් එකම සමාගම වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. එම සමාගමේ මූල්‍ය ප්‍රකාශවලට අනුව 2019 පළමු කාර්තුව තුළ දී නිෂ්පාදන හා අනෙකුත් බදු හරහා රුපියල් බිලියන 26 ක ආදායමක් රජයට ලබා දීමට සමාගම විසින් කටයුතු කර ඇත. කෙසේ වෙතත් ලංකා දුම්කොළ සමාගම මෙහිදී පවසන්නේ 2018 අගොස්තු මාසයේ දී හා 2019 මාර්තු මාර්තු මාසයේ දී සිගරට් මත අයකෙරෙන බදු ඉහළ දැමීම හේතුවෙන් 2019 මුල් කාර්තුව තුළ දී සිගරට් අලෙවි පරිමාව 14.9% කින් පහළ ගොස් ඇති බවයි. මෙහිදී ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් පවසන්නේ මාස 09 ක් වැනි කාලයක් තුළ දී සිගරට් මිල 30% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර පසුගිය 2018 වසර තුළ දුම්කොළ සමාගම විසින් රජයට ගෙවා ඇති සම්පූර්ණ බදු ප්‍රමාණය පෙර වසරට වඩා රු. බිලියන 7.53 කින් ඉහළ ගොස් ඇති අතර එය 6.4% ක ඉහළ යාමක් ලෙසින් වාර්තා වේ. මෙහිදී රුපියල් බිලියන 112.36 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 10.47 ක් ආදායම් බදු ලෙසත් රජයේ ගිණුමට බැර වී තිබේ. මෙහිදී සමාගම අවධාරණය කර සිටින්නේ 2018 වසර තුළ මෙරට සංසරණය වූ නීතිවිරෝධී දුම්වැටි ප්‍රමාණය මිලියන 510 ක් හා බීඩී ප්‍රමාණය බිලියන 4.8 ක් බවට ඇස්තමේන්තුගත කර ඇති බවයි. එසේම එය දුම්කොළ කර්මාන්තය හරහා රජයට ලැබෙන බදු ආදායම පහළ දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සමාගම වැඩිදුරටත් පවසයි.
ආචාර්ය එස්. එන්. මොරායස්, මහාචාර්ය එස්. එස්. කොළඹගේ සහ ආචාර්ය සී. එන්. රත්නායක යන විද්වතුන් විසින් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් පිළියෙල කරන ලද ”ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධී දුම්වැටි ජාවාරම හා එමඟින් අහිමි වන බදු මුදල් පිළිබඳ පදනම් අධ්‍යනය” (A Baseline Study on the Illicit Cigarette Market and the Resulting Tax Implications for Sri Lanka) වාර්තාව පසුගිය වසරේ අගභාගයේ දී එළිදැක්වුණු අතර එහිදී කියැවුණේ, 2017 වසර තුළදී පමණක් ශ‍්‍රී ලංකා රජයට රු. බිලියන 17.98 ක් තරම් දැවැන්ත බදු ආදායමක් නීතිවිරෝධී දුම්වැටි හේතුවෙන් අහිමි වී ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට නීතිවිරෝධී දුම්වැටි ගෙන්වනු ලබන්නේ දුම්කොළ සමාගම් විසින්ම බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය ජනවාරි මාසයේ පැවති උත්සව අවස්ථාවක දී කියාසිටියේය. මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“දුම්කොළ සමාගම්වලින්ම තමයි නීතිවිරෝධී සිගරට් ලංකාවට ගේන්නේ වැඩිහරියක්. ඒ ගෙනල්ලා ඒ ගොල්ලොම අල්ලනවා. ඒ ගොල්ලෝ ගෙනල්ලා, ගේන මිනිහාටත් සල්ලි දීලා, ඒ තොගවලට අලාභයත් විඳිමන් ඔවුන්ම කස්ටම් එකට දැනුම් දෙනවා ඔන්න එනවා කියලා. ඒක පත්තරේ දානවා. ටීවී එකේ දානවා. ඒ වගේ දිගින් දිගටම සති කිහිපයකට සැරයක් මේක කරනවා. කරලා රටේ ජනමතයක් ඇති කරනවා, මේක වැඩිවීම තුළ දුම්බීම වැඩි වෙනවා කියලා. ඒක ඒ ගොල්ලන්ට ලාභයි, මගේ බද්දට වැඩිය. බද්ද අයින් කර ගත්තොත් එච්චර වියදම් කරන්න ඕනේ නැහැ.“
Video Story