චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ගැන අපේ බලාපොරොත්තු

    June, 27, 2014

    යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් මෙරට අපනයන කරුවන්ට චීනය තුළ වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ (The National Chamber of Commerce of Sri Lanka) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, තිලක් ගොඩමාන්න මහතා විශ්වාසය පළකරයි.

    අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම ඇතිකර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවත් ලංකාවේ තේ, මැණික් හා ස්වර්ණාභරණ, ඉහළ වටිනාකමක් සහිත ඇඟලුම්, අගය එකතු කළ තවත් බොහෝ නිෂ්පාදන තීරු බදු රහිතව ලෝකයේ දැවැන්තම වෙළඳ පොළක් වන චීනයට මෙම ගිවිසුමට අනුව යැවීමට ඉඩ ලැබෙනු ඇති බවයි.

    ශ්‍රී ලංකාව හා චීනය අතර දැනට සිදුවන ද්විපාර්ශවීය වෙළඳාමේදී චීනය පාර්ශවයෙන් විශාල වෙළඳ අතිරික්තයක් තිබුණද ලංකාව පැත්තෙන් තිබෙන්නේ විශාල වෙළඳ හිඟයකි. මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි වෙළඳ ගිවිසුමක් ඇති කරගත් පසුව ලංකාව පැත්තේ වෙළඳ හිඟය තව තවත් වැඩිවනු ඇති බවත් එය ලංකාවට අවාසියක් විය හැකියැයිද මත ඉදිරිපත්වී තිබේ.

    පසුගියදා කොළඹදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වෙසෙන චීන තානාපති වූ ජියන්හෝ මහතා (Wu Jianghao) පැවසුවේ මිත්‍රශීලි රටක් ලෙස මෙම කාරණය පිළිබඳව චීනයේ අවධානය යොමුව පවතින බවත් ලංකාවට අවාසියක් වන අයුරින් මෙම වෙළඳ ගිවිසුමට අත්සන් නොකරන බවයි.

    යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ චීනයට සිදුකරන මෙරට ඇඟලුම්, පොල්, රබර්, තේ ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ සඳහා සම්පූර්ණයෙන්ම බදු සහන ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසීය.

    මෙම වෙළඳ ගිවිසුමට අදාළව ශ්‍රී ලංකාව හා චීනය විසින් එක්ව ගොඩනැගූ ශඛ්‍යතා අධ්‍යන වාර්තාව එරට අනුමැතිය සඳහා මේ වනවිට ඉදිරිපත් කර ඇත.

    ශඛ්‍යතා වාර්තාවට අනුමැතිය හිමිවූ විගසම වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට අදාළව දෙරට අතර සාකච්ඡා ආරම්භ කරන බවත් මේ වසර අවසන් වීමට පෙර ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ආටිගල මහතා සඳහන් කළේය.

    “මේ යටතේ රබර්, තේ, පොල්, ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ අපනයන වෙනුවෙන් සියයට සියයක බදු විරාමයක් චීනයෙන් ඉල්ලා සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කය වන්නේ වසරට ඩොලර් මිලියන 500 ක පමණ ඇඟලුම් මෙම ගිවිසුම යටතේ බදු රහිතව චීනයට අපනයනය කිරීමටයි.“

    “චීනය වෙනුවෙන් මෙරට වෘත්තීය සේවා විවෘත නොකරන බව අප පැහැදිලිවම කියා තිබෙනවා. මීට අමතරව, මෙරට නිෂ්පාදනය නොකරන ඉදිකිරීම් කර්මාන්තයට අදාළ විශාල යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී  එරටට සහන ලබාදීමටයි ලංකාව අදහස් කර තිබෙන්නේ“

    යනුවෙන් ආටිගල මහතා වැඩිදුරටත් කීය.