චීන ශ්‍රී ලංකා සබඳතා ඓතිහාසික සන්ධිස්ථානයකට ගෙන එනවා

    April, 6, 2016

    වත්මන් රජය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට විපක්ෂයේ අන්තවාදී පිරිසක් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බවත්, නිරන්තරයෙන් චීනය ශක්තිමත් රාජතාන්ත්‍රික මිතුරෙක් ලෙස සලකා රජය කටයුතු කරන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    වත්මන් රජය දියත් කර ඇති ශක්තිමත් විදේශ ආයෝජන ප්‍රතිපත්තිය තුල චීන ශ්‍රී ලංකා සබඳතා වඩාත් ශක්තිමත් ලෙස ගොඩනැගෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සදහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයත් සමඟ මෙම සම්බන්දතාව කේන්ද්‍රීය සන්දිස්ථානයකට පත්වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) චීනය බලා පිටත්ව යන අතර වත්මන් යහපාලන රජය පිහිටුවීමෙන් පසු අගමැතිතුමන් චීනයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වේ. මෙම සංචාරයේදී චීන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂි ජින්පිං (xi jinping), අග්‍රාමාත්‍ය ලී කවියන් (li keqiang) යන මහත්වරුන් සමග ඉහළ පෙලේ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වේ.

    අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයේදී චීන ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධනය , ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගීතාව වර්ධනය කිරීම, වකුගඩු රෝගය වැලැක්වීම, ක්‍රීඩා සහයෝගීතාව ඉහළ නැංවීම , සංචාරක කටයුතු ප්‍රවර්ධනය, මුල්‍ය සේවා ශක්තිමත් කිරීම, ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය සහ අනාගත දිශාවන් ඇගයීම, ආර්ථික හා වෙළඳ සහයෝගීතා ඒකාබද්ධ කමිටුවේ වත්මන් තත්වය නිරීක්ෂණය, මෙරට තුල ජලසම්පාදන සහ අපජල ප්‍රවාහනය සඳහා නලමාර්ග ශක්තිමත් කිරීමේ මෙගා ව්‍යාපෘති සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

    මේ යටතේ චීන වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම හම්බන්තොට වරාය හා ඒ ආශ්‍රිත ආයෝජනා කලාප සංවර්ධනය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, රත්නපුරය හා මහනුවර අධිවේගී මාර්ග, උතුරු නුවර හා ගම්පහ මිනුවන්ගොඩ ජල සැපයුම් ව්‍යාපෘති, හලාවත, පුත්තලම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති යන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සංවර්ධනය කල යුතු අංශ ගණනාවක් පිලිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරේ.