චෝදනාවන්ට ඖෂධ සමාගම් උත්තර දෙයි

    March, 27, 2015

    ඖෂධ කර්මාන්තය තුළ විවිධ අක්‍රමිකතා හා දූෂණ සිදු වී ඇති බවට විවිධ මාධ්‍යවල මෑතකදී පළවූ වාර්තා පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය (SLCPI) තම සංසදය සම්බන්ධයෙන් එකී චෝදනා සම්පූර්ණයෙන්ම බැහැර කරන බව තරයේ ප්‍රකාශ කර ඇත.

    රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා අවශ්‍ය කරන කවර හෝ අනිවාර්ය අවශ්‍යතාවයන් සඳහා තම සංසදයේ පූර්ණ සහයෝගය සැමවිටම නොපැකිළව ඖෂධ පාලන අධිකාරියට ලබාදෙන බවද ශ්‍රි ලංකා ඖෂධ කර්මාන්ත සංසදය සඳහන් කර තිබේ.

    වර්තමානයේ ඖෂධ කර්මාන්තය විවිධ සංවිධානයන්ගේ හා විචාරකයන්ගේ දෝෂාරෝපණයන්ට ලක්වීම කණගාටුවට කරුණක් බව ඖෂධ කර්මාන්ත සංසදයේ ප්‍රධාන පාලන නිළධාරී ‍ෙවෙද්‍ය පී.සමරකෝන් පවසා ඇත.

    කලක සිට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පදනම් විරහිත චෝදනා ඖෂධ කර්මාන්තයට එල්ල කරමින් සිටින බවත්, ඒ හරහා ජනතාව තුළ අනවශ්‍ය සැක සංකා, බිය ජනිත කරවීමට නිෂ්ඵල උත්සාහයක් දරන්නේ යැයි ඖෂධ කර්මාන්ත සංසදය පැහැදිලිවම අවබෝධ කරගෙන සිටින බවත් සඳහන්ය.

    වෙනස්වන දැනීම හා තාක්ෂණික දියුණුවත් සමග පවතින ඖෂධ හා ප්‍රතිකාර විධි පිළිබඳව ප්‍රමිතීන් ගැන ‍ෛවද්‍ය වෘත්තිකයින් නිරතුරුවන දැනුවත් කිරීමත් ඒ පිළිබඳව අධ්‍යනයන් හා පර්යේෂණ කටයුතු කිරීම සඳහා උනන්දු කරවීම හා ඊට සහයෝගය ලබාදීම ඖෂධ කර්මාන්තයේ මූලික වගකීමක් ලෙස සංසදය අදහස් කරන අතර එසේ කටයුතු කිරීම ඖෂධ සංසදයේ ප්‍රධාන සමාජීය වගකීමක් (CSR) ලෙසද සංසදය සලකන බවත් සංසදය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

    විශේෂයෙන්ම, නිරෝගී ජනතාවක් මෙන්ම සාර්ථක සෞඛ්‍ය ක්ෂේත්‍රයක් බිහි කිරීම පිණිස රට තුළ වර්ගීය ඖෂධ (Generic), නවෝත්පාදිත ඖෂධ (Innovators) හා නාමික ඖෂධ (Branded generic) යන ඖෂධ වර්ග ඔවුනොවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි තෝරා ගැනීමේ සාධාරණ අවස්ථාව සියලුම ලාංකිකයන්ට ලබා දිය යුතුව ඇතැයි සඳහන්ය.

    අවසාන පාරිභෝගිකයාට විවිධ තේරීමක් ලබාදීම සඳහා ඉහත සඳහන් කළ ඖෂධ කොටස් වර්ග, රාජ්‍ය නීතිරීති හා රෙගුලාසී වලට අනුකූලව හා ඉතා සුදුසු ක්‍රියාපටිපාටීන්ට අනුව ලබාදෙන සැපයුම්කරුවන්, ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය සතු වේ.

    අවාසනාවන්ත අන්දමට රට තුළ තිබෙන ඖෂධයන්ගේ ගුණාත්මක තත්ත්වය පරික්ෂා කිරීමට පවතින පහසුකම් ඉතා අවම මට්ටමක පවතින හෙයින්, ව්‍යාජ ඖෂධ වර්ග, ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙන්ම නීතිවිරෝධි ඖෂධ වර්ග වෙළෙඳ පොළ තුළට පැමිණීම නොවැලක්විය හැකියැයි මෙම සංසදය කියා තිබේ.