ජනපතිගෙන් පොලිසියට නියෝගයක් – ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩදෙන්න එපා

    June, 13, 2020

    ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසිය වෙත  නියෝග කර ඇත.

    මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසන්නේ, ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති බවත්, ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුව බවත්ය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබෙන අතර අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි තමන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දුන් බව සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටී.

    කොවිඩ් 19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකරගැනීම මාස 6 කට අත්හිටුවනු ලැබීය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් වෙයි. එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බවත් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද මම පොලීසියට නියෝග කළෙමි“, යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.