ජනපති නියමයෙන් ව්‍යාපාර සඳහා වූ බැංකු ණය අයකිරීම් මාස 06 කට නතර කෙරේ

    March, 17, 2020

    රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු, මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අයකිරීම් මාස 06කට නතර කිරීමට තමන් විසින් නියෝග කරනු ලබන ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහා පවසයි. මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ජාතිය අමතමින් මේ බව කියා සිටියේය. එසේම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොළියකට ලබා දීමට කටයුතු කරනු ලබන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    “ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්ත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. සහල් සැපයුම දැනටමත් ස්ථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන්, බැංකු, මූල්‍ය, වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා.“

    “සෑම වෙළෙඳසැළකම අද රාත්‍රියේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේ දී ලබා දීමට ක්‍රියා කරනවා.“

    “රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු, මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අයකිරීම් මාස 06කට නතර කිරීමට මම නියෝග කරනවා.“

    “එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.“