ජනපති මෛත්‍රීගේ ඖෂධ කතාවට උත්තර දෙන්න සමාගම් සැරසෙන ලකුණු

    March, 6, 2015

    ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අතුරුදන් කිරීම සඳහා සමාගම් 400 කින් රුපියල් කෝටි 100 ක මුදලක් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය බදාදා (04) කළ ප්‍රකාශයට අදාළව ඉදිරියේදී කරුණු පැහැදිලි කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත කරුවන්ගේ සංසදය (Sri Lanka Chamber of the Pharmaceutical Industry) අද පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් කැඳවූ බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

    නම හෙළි කිරීමට අකමැතිවූ ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත කරුවන්ගේ සංසදයේ නියෝජිතයෙකු අප සමග පැවසුවේ අද පස්වරු 4.00 ට කොළඹදී මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත කරුවන්ගේ සංසදයේ ඉහළ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බවයි.

    ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය තුළ සමාගම් 400 ක් ක්‍රියාත්මක නොවන බවත් ක්‍රියාත්මක සමාගම් ගණන එයට වඩා බෙහෙවින්ම අඩු බවත් හෙතෙම අප වෙත සඳහන් කළේය.

    මේ නිසා, නිළධාරීන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී තිබෙන්නේ වැරදි දත්ත බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත කරුවන්ගේ සංසදය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
    ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අතුරුදන් කිරීම සඳහා සමාගම් 400 කින් රුපියල් කෝටි 100 ක මුදලක් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය බදාදා ප්‍රකාශ කළ අතර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපතිවරයකු විසින් පනත් කෙටුම්පතකට අදාළ විවාදයක් ආරම්භ කරමින් කළ කතාව වූයේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ එම කතාවයි.

    පනත අතුරුදහන් කිරීම සඳහා එක් ඖෂධ සමාගමකින් රුපියල් ලක්ෂ 25 බැගින් සමාගම් 400 කින් මුදල් එකතු කරගෙන ඇති බවත් එම මුදල් ගියේ කාටදැයි තමන් නොදන්නා බවත් ජනාධිපතිවරයා එහිදී කීය.

    ජාතික ඖෂධ පනත හෙවත් ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.