ජනවාරියේ දී වාහන ආනයන වියදම අඩකින් පහළට

    April, 18, 2019

    2019 ජනවාරි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරන ලද සමස්ත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 49.5 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2018 වසරේ ජනවාරි මාසයේ දී වාහන ආනයනය සඳහා සිදුකර ඇති ඩොලර් මිලියන 95 ක ආනයන වියදම හා සැසඳීමේ දී 47.9% ක පහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    මෙය පසුගිය මාස 13 ක කාලපරිච්ඡේදය තුළ දී තනි මාසයක් තුළ වාර්තා වූ අඩුම වාහන ආනයනික වියදම ලෙසින් වාර්තා වේ.

    කෙසේ වුවද, 2019 වසර සඳහා වූ අයවැය මගින් නිෂ්පාදන බදු සංශෝධන කිරීම, විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය අඩුවීම සහ විදේශීය අංශයේ අනෙකුත් වර්ධනයන් සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රථවාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී පනවා තිබූ ආන්තික තැන්පතු අවශ්‍යතාව 2019 මාර්තු 07 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරන ලද අතර ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් තැන්පතු අවශ්‍යතාව මාර්තු 12 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරන ලදී.