ජනවාරියේ දී සංචාරකයින් දෙලක්ෂ හතළිස් හතරදහසක් ඇවිත්. හතළිස් දහසක්ම ඉන්දියානුවන්

    February, 18, 2019

    පසුගිය 2019 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 244,239 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2018 ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබූ 238,924 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 2.2% ක ඉහළ යාමකි.

    මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් 40,049 ක්ම ඉන්දියානුවන් වන අතර එය 2018 වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති ඉන්දියානුවන් සංඛ්‍යාව වූ 37,936 ට වඩා 5.6% ක වර්ධනයක් ලෙසින් වාර්තා වේ. මේ අතර ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව 24,275 සිට 26,414 දක්වා 8.8% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ.

    ජනවාරි මාසයේ දී එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 13.5% කින් ඉහළ ගොස් ඇති අතර රුසියානු සමූහාණ්ඩුවෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 16.5% කින් වැඩි වී ඇත.කෙසේ වෙතත් ජනවාරි මාසයෙ තුළ දී ජර්මානු සංචාරකයින්ගේ පැමිණීමෙහි 8.3% ක අඩුවීමක් වාර්තා වී තිබේ.

    2019 ජනවාරි මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් 234,658 ක් ගුවන් මාර්ගයෙන් ද, 9,581ක් මුහුදු මාර්ගයෙන් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව මෙම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.