ජනාධිපති, අගමැති ඇතුළුව ප‍්‍රතිපත්ති සම්පාදකයිනි, ජනතා පරමාධිපත්‍යයේ හඬට අවනතවන්න

    May, 6, 2022

    දිගුකාලීන වැඩවර්ජනයන් වෙත යොමු වීමට ඉඩ දීම තුළ පවතින ආර්ථික අර්බුදය තවත් දරුණු වීම වැළැක්විය නොහැකියි - ඒකාබද්ධ ඇඟළුම් සංසදය අවධාරණය කරයි

    ලෝකය පවා මවිත වන අයුරින් විස්මිත නිර්මාණයන් සිදු කළ ශ‍්‍රී ලාංකිකත්වය එම ප්‍රෞඩත්වයෙන් වසර 2500කට පසුව වර්තමානය වන විට පත් ව සිටින ඉරණම සැබවින්ම ඛේදජනකය. ආර්ථික අර්බුදයකින් ආරම්භ වී දේශපාලන අර්බුදයක් කරා ගමන් කරමින් සමස්ත ශ‍්‍රී ලංකාවම මේ වන විට අනාගතය පිලිබඳව අබ මල් රොනක අපේක්ෂාවකින් තොරව හෙට දවසට මුහුණ දෙමින් සිටී. රටේ ජනතාව දෛනිකව හෙම්බත් වන කිසිදු ගැටලූවකට රටේ ප‍්‍රධාන නීති සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුවෙන් හෝ ලොව කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනාධිපතිවරයකු සතු නොවන තරමේ බලකේන්දුයක් සහිත පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයාගෙන් හෝ කිසිදු සාධනීය වැඩපිළිවෙක් ඇති බව පෙනෙන්නට නොමැත. මේ නිසා අර්බුද මැද ජීවත් වන්නට අනවරත අරගලයක යෙදෙන ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයින්ගේ පරමාදිපත්‍යයේ හඬට සවන්දෙනු මිස ජනපති, අගමැති ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයින්ට වෙනත් කිසිදු විකල්පයක් මේ මොහොතේ නොමැති බව ඒකාබද්ධ ඇඟළුම් සංසදය ලෙස අපි අවධාරණයෙන් පවසා සිටිමු. එමෙන්ම දිගු කාලීන වර්ජනයක් වෙත රට තල්ලූවීමට ඉඩ හැරීම තුළ රටත් ලෙස අප අපගේම විනාශය ඉක්මන් කර ගන්නවා විනා , අර්බුදය විසඳීමට එය කිසිදු ආකාරයේ සහායක් ලබා නොදෙන බව අපි වැඩිදුරටත් කියා සිටිමු.

    පටු බලලෝභයෙන් හෝ තම වෘත්තීය සමිති ව්‍යාපාරයට හෝ දේශපාලන පක්ෂයට අත්වන වාසියට අවධානය යොමු කරනු වෙනුවට පොදුවේ මුළු රටම වෙලාගෙන සිටින ආර්ථික දේශපාලන අර්බුදවලට කඩිනමින් පිළියම් යෙදීම සඳහා වන පොදු යාන්ත‍්‍රණයක් වෙත යොමු වන්නැයි අපි සියලූ පාර්ෂවයන්ට බල කර සිටින්නෙමු. තම තමන්ගේ දේශපාලන ලැදියාවන්ට වඩා ජනතාව කෙරෙහා පවතින ලැදියාව බලවත් බව අවධාරණය කරනු කැමැත්තෙමු. එමෙන්ම දිගුකාලීන වර්ජනයන් වෙත ජනතාව රැගෙන යන පාලන තන්ත‍්‍රයෙන් සහ වෘත්තීය සමිති ප‍්‍රජාව ද මෙහි අනිටු ප‍්‍රතිවිපාක ජනතාවගෙන් සැඟවීම කිසිදු ඵලක් නොවන අතර රටේ සමස්ත ආර්ථික දේහය අඩපණ වීම තුළ තවත් දරුණු ප‍්‍රතිවිපාක වඩාත් ඉක්මනින් විඳ ගැනීමට සමස්ත රටේ ජනතාවට සිදු වනු විනා මේ ක‍්‍රියාවලිය කිසිදු ලෙසකින් පවතින් ආර්ථික හා දේශපාලන අර්බුදය ජය ගැනීමේ මාර්ගයක් නොවනු ඇති බව මෙරටට විදේශ විනිමය උද්පාදනය කරන ක්ෂේත‍්‍රයක් ලෙස අපි තරයේ විශ්වාස කරමු.

    ජනාධිපති, අගමැති ඇතුළුව පාලන බලය හොබවන පිරිස ජනතා පරමාධිපත්‍යයේ හඬට සවන් දිය යුතු අතර තම පක්ෂයේ හෝ අනාගත බල ව්‍යාපෘතියේ පුද්ගල ප‍්‍රතිරූප නැංවීමට වඩා මහජන විශ්වාසයට හේතුවන යහපත් රාජ්‍ය පාලන ව්‍යුහයක් නොපමාව ගොඩ නැංවිය යුතුය. එසේම ආණ්ඩුව අර්බුදයට පිලියම් සොයනු විනා අර්බුදයෙහි කොටස් කරුවකු නොවිය යුතු බව අපි අවධාරණය කරමු.

    ජනතා පරමාධිපත්‍ය ක‍්‍රියාත්මක කරනු පිණිස මහජන ඡුන්දයෙන් තෝරාපත් කර ගනු ලැබූ හා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත‍්‍රීවරුන් ජනතාවගෙන් තමන්ට ලැබුණු පරමාධිපත්‍ය එක් දේශපාලන පක්ෂයක හෝ පුද්ගල අභිමතයක් පිනවීමට භාවිතා කරනු වෙනුවට ජනතා අභිලාසයන් මුදුන් පමුණු වනු පිණිස දැන්වත් ත‍්‍රියාත්මක විය යුතු යැයි අපි බල කර සිටින්නෙමු. පාර්ලිමේන්තුව සතු සංවරණ හා තුලන බලය ජනතාවගේ යහපත පිණීසම විය යුතුය. එමෙන්ම රට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීමට සමත් වැඩපිලිවෙලක් වෙත කඩිනමින් යොමු විය යුතුය. එමෙන්ම මෙම අරුබුදයෙන් ගොඩ ඒම සඳහා වන ප‍්‍රතිපත්ති සම්පාදනය නොපමාව සිදු කරන අතරතුර රටේ ආර්ථික දේහය නිරෝගීව පවත්වාගෙන යෑම සඳහා අපනයන අංශය ඇතුළුව සමස්ත පුද්ගලික අංශයට බාධාවකින් තොරව ඔවුන් විසින් මෙරටට ලබා දෙන ආර්ථික දායකත්වය එලෙසම ලබා දීමට සහාය ලබා දීම සිදු විය යුතුය.

    විධායකයේ විධානයන් ක‍්‍රියාත්මක කරන රාජ්‍ය සේවය කාර්යක්ෂම හා කඩිනමින් අවශ්‍ය ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාවේ යෙදවිය යුතුය. තමන්ගේ ප‍්‍රමුඛතම වගකීම පවතින්නේ රාජ්‍යයෙහි පරමාධිපත්‍ය හිමි ජනතාවට බැවින් ඔවුන්ගේ සාමූහික සුභසාධනය අන් කවර ලැදියාවකටත් වඩා ඉහළින් තබා ගන්නා මෙන් අපි රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු.

    අපි පසුකරමින් සිටිනුයේ වසර ගණනාවක ආණ්ඩු ගණනාවක් විසින් සිදු කරන ලද වැරදි සහගත සමාජ ආර්ථික තීන්දු තීරණයන්හි දුර්විපාකයන් සමුදායකටය. එබැවින් මේ සියලූ අර්බුද එක් රැයකින් නිම නොවී කාලාන්තරයක් අප වෙත පීඩාකාරී අභියෝග එල්ල කරනු ඇත. එහෙත් පුද්ගයන් ලෙසත් සමාජයක් ලෙසත් මහත් කැපකිරීමකින් තොරව දියුණුවේ මාවත කරා එළැඹිමට අන් මගක් නොමැත. එමෙන්ම අර්බුද මධ්‍යයේ වූවද මහත් ආයාසයෙන් ක‍්‍රියාත්මක වන ආර්ථික දැති රෝද ගලවා දැමීම වෙනුවට ආර්ථික දැති රෝද පෙර නොවූ විරූ වේගයකින් ක‍්‍රියාත්මක කිරීමේ වගකීම පාලන තන්ත‍්‍රයටත් සමස්ත මහජනතාවටත් පැවරෙන අතර අර්බුදයෙන් ගොඩ යා හැකි එකම මාර්ගය රටේ ආර්ථිකය යහපත් තත්වයට පත් තර ගැනීම පමණත්ම වන බව අපි ඒකාබද්ධ ඇඟළුම් සංසදය ලෙස යළි යළිත් අවධාරණය කරන්නෙමු. මේ සඳහා වන ආදර්ශය බලයේ සිටින නායකත්වය ලබා දිය යුතු අතර පාලකයින් යනු ජනතාපරමාධිපත්‍යයේ භරකරුවන් මිස අයිතිකරුවන් නොවන බව අපි අවධාරණය කරන්නෙමු.

    මේ මොහොතේ අප ගත කරමින් සිටින තත්වයෙන් ගොඩ ඒමේ වගකීම සමස්ත ශ‍්‍රී ලාංකිකයින් වෙතම පැවරී ඇති බැවින් එක් එක් පුරවැසියන් තම වගකීම නොපිරිහෙලා තම රට වෙනුවෙන් ඉටු කිරීමෙන් පමණක්ම අප වැටී සිටින මේ අර්බුදයෙන් ගොඩ එන්නට අපට හැකියාව ලැබෙනු ඇත.