ජපානයෙන් හා ඉන්දියාවෙන් LNG විදුලි බලාගාර දෙකක් ශ්‍රී ලංකාවට

    May, 2, 2017

    කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹිම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය සහයෝගය පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (01) බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

    “මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලුත් ව්‍යාපෘති සඳහා ද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා.“

    “කෙරවලපිටියේ LNG විදුලි බලාගාරයක් මේ වසරේ දී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව LNG විදුලි බලාගාර දෙකක් ඇරැඹිමට නියමිතයි.“