ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කිරීමට ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මූලික ඉංජිනේරු හා තාක්ෂණික දායකත්වය

    April, 16, 2024

    පසුගිය දා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ, ගරු සෞඛ්‍ය කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී ජර්මානු - ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කෙරුණි. මෙම අති නවීන රෝහල් සංකීර්ණය දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන අතර, එය වර්ග අඩි 500,000 ට වැඩි භුමි ප්‍රමාණයක විහිදුණු, ඇඳන් 640 කින් ද සමන්විත වූවකි.

    හිටපු ජර්මානු චාන්සලර්, දිවංගත හෙල්මට් කෝල් මහතා වර්ෂ 2004 වසරේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර සුනාමි ඛේදවාචකයට හසුව දිවි බේරා ගැනීමෙන් පසුව ඔහු තුළ ඇතිවූ සිතුවිල්ලක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ සඳහා ජර්මානු ජනරජය, ගාල්ලේ හෙල්මට් කෝල් මාතෘ රෝහල් පදනම, ජර්මනියේ KfW බැංකුව සහ ශ්‍රී ලංකා රජය මගින් අරමුදල් සපයන ලදී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දිගු කලීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස පෙන්වා දිය හැකිය.

    මෙම ව්‍යාපෘතියේ අවසන් අදියර ඒකාබද්ධ සෞඛ්‍යාරක්ෂණ තාක්‍ෂණික සහ යටිතල පහසුකම් ආශ්‍රිත  සේවා සපයන ශ්‍රී ලංකාවේ එක ම ආයතනය වන  ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිම කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය සිවිල් ඉංජිනේරු සහ කාර්මික, විදුලි සහ ජලනල (MEP) ඉංජිනේරු කටයුතු ද ඇතුළු ව වෛද්‍ය සහ වෛද්‍ය නොවන උපකරණ බහුතරයක් සැපයීම සහ ස්ථාපනය කිරීම ද එම ආයතනය විසින්ම සිදු කරන ලදී.

    මෙම ව්‍යාපෘතියට අදාළ ව ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රධානම තාක්ෂණික උපකරණ සපයන්නා ලෙස ක්‍රියා කළ අතර නව  රෝහලේ රසායනාගාර, රුධිර බැංකුව, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, ලදරු දැඩි සත්කාර ඒකකය, ප්‍රසූත කාමර සහ මාතෘ වාට්ටු වෙනුවෙන් අති නවීන වෛද්‍ය උපකරණ රැසක් ද සැපයීමට කටයුතු  කෙරිණි.  ඊට අමතරව ලොන්ඩරිය, මුළුතැන්ගෙය, අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය සහ මෘත ශරීරාගාරය ඇතුළු මධ්‍යම රෝහල් පහසුකම් ස්ථාපනය ද ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සිදු කරන ලදී. විශේෂයෙන් ම මෙහි ඇති වඩාත්ම සැලකිය යුතු ඒකකය මධ්‍යම ජීවානුහරණ සැපයුම් ඒකකය (CSSD ඒකකය) වන අතර එමඟින් රෝහල් පරිසරයේ ආසාදන පාලනය සහ ජීවානුහරණය සිදු කෙරේ. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ දැනට පවතින එවැනි ඒකක අතරින් වඩාත්ම දියුණු සහ අති නවීන පහසුකම් සහිත CSSD ඒකකය ලෙස ද හැඳින්වේ.

    මෙම ව්‍යාපෘතියට අදාළ ව සිදුවන ව්‍යාපෘති කළමනාකරණය, කොන්ත්‍රාත්තු පරිපාලනය සහ රෝහල් සංකීර්ණයේ සමස්ත සිවිල් ඉංජිනේරු ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතන‍ය විසින් සිදුකළ අතර, ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ලෙස නිමවා තිබේ.

    ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුජීව සුමනසේන මහතා මෙම අවස්ථාව පිලිබඳව, සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජර්මනියේ KfW බැංකුව සහ ජර්මානු රජය විසින් පත් කරන ලද ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු මෙම ව්‍යාපෘතියේ පාර්ශවකරුවන්, මෙම ව්‍යාපෘතිය පුරාවට ම ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය කටයුතු කළ ආකාරය පිළිබඳව ලැබුණු පැසසුම් හා ඇගයීම් සම්බන්ධයෙන් තම ආයතනය කෘතඥපූර්වක වන බවයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය මනා වෘත්තීමය බවකින් සහ ගුණාත්මක බවකින් යුතු ව කටයුතු කළ බව එතුමා එහිදී පවසා සිටි අතර ම මෙම ඇගයීම් මගින් පාරිභෝගික අවශ්‍යතා ඉක්මවා යන සේවාවක් ලබා දීමට සහ විවිධ පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කරමින් විශිෂ්ට වූ ඒකාබද්ධ සෞඛ්‍යාරක්ෂණ, තාක්‍ෂණික සහ පූර්ණ යටිතල පහසුකම් සඳහා විසඳුම් ලබා දීමටත් තම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරනා බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේය.