ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමෙහි සිව්වැනි සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

    April, 20, 2018

    කොළඹ දී  සහ වොෂින්ටන් නුවර පැවති වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුරදී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ ජා.මූ. අරමුදලේ දූත පිරිසේ ප්‍රධානී, මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

    “ජා.මූ. අරමුදලේ නිලධාරි කණ්ඩායම, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි සිව්වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවයකට එළැඹියේය. බලධාරීන් විසින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සාර්ථකව තවදුරටත් පවත්වාගෙන යෑම සහ ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීම මගින්, වැඩසටහන යටතේ දෙසැම්බර් මස අවසානය සඳහා පැවති සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගන්නා ලදී. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම හමුවේ උද්ධමනය, දෙසැම්බර් මාසය සඳහා වූ ඇතුළත සීමාවෙහි ඉහළම අගය ඉක්මවුවද, එතැන් සිට නැවතත් ඇතුළත සීමාව තුළට පැමිණ ඇත. ඇතැම් ප්‍රමාදයන් හමුවේ වුවද, සම්පූර්ණ කිරීමට ඇති සියලුම ව්‍යූහාත්මක නිර්ණායක ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීහු පියවර ගනිමින් සිටිති.”

     “කාලගුණික තත්ත්වය ආශ්‍රිතව ඇතිවූ කම්පනවල බලපෑම හේතුවෙන් 2017 වසරේදී වර්ධනය මන්දගාමී වුවද, පසුව, කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ආහාර මිල ගණන් පහළ වැටුණු අතර, ආර්ථිකය ද යථා තත්ත්වයට පත්වෙමින් පවතී. 2018 වසරේදී ද.දේ.නි.යෙහි වර්ධනය සියයට 4.0 ක මට්ටමකට පත් වනු ඇති අතර, උද්ධමනය සියයට 5.0 ට වඩා අඩුවෙන් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන යථා තත්ත්වයට පත් වෙමින් ඇති අතර මෑතදී නිකුත් කළ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව කෙරෙහි සාර්ථක අධි දායකත්වයක් ලැබුණි. කෙසේ වුවද, රටෙහි රාජ්‍ය ණය තත්ත්වය තවදුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතීම, ඉහළ ප්‍රතිමූල්‍යන අවශ්‍යතා පැවතීම සහ විදේශ අංශයේ බාහිර ආරක්ෂණ (External Buffers) අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනයන් සඳහා අවදානමක් පෙන්වයි.”