ජාතික ආර්ථිකය නගා සිටුවමින් Spiralation වැඩසටහන තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර ශක්තිමත් කරයි

    January, 23, 2020

    ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික නියෝජිත ආයතනය (ICTA) විසින් පවත්වනු ලබන Spiralation වැඩසටහන 2019 වසරේදී තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර 16 කට අත්වැල සපයමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම උදෙසා මහඟු දායකත්වයක් සැපයීය. තෝරාගත් ව්‍යාපාර 12 ක් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරිමේදී අවශ්‍ය කරන පුහුණුවද, රජයේ අනුග්‍රහය, දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වීමේ අවස්ථාවද සමග මිලියන 1.5 බැගින් පිරි නැමුණු අතර, අනෙක් ව්‍යාපාර 4 සඳහා පුහුණුව හා මග පෙන්වීම ලබා දීමට මෙම වැඩසටහන මගින් කටයුතු කෙරිණි. Spiralation වැඩසටහන මේ වන විටත් විවිධ ක්ෂේත්‍රවල තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර 70 කට දැවැන්ත ව්‍යාපාර බවට පත් වීමේ ඉලක්ක සපුරා ගනු වස් අත්‍යවශ්‍ය මග පෙන්වීම හා පහසුකම් සපයා තිබේ.

    Spiralation යනු සමාජයට සුබවාදී බලපෑමක් කළ හැකි සහ කාලීන සමාජ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර බල ගැන්වීමට ක්‍රියාකරන වැඩසටහනකි. මිනිසුන්ගේ ජීවන මට්ටම වැඩි දියුණු කිරීම සහ රටේ ආර්ථිකය නගා සිටුවීමද මෙහිදී අරමුණු කර ගනී. එමගින් 2030 වන විට, දුප්පත්කම තුරන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම, විශ්වයටම සාමය හා සමෘද්ධිය උදා කරලීම ආදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් විසින් පිළිගත් තිරසාර සංවර්ධන ඉලක්කයන් කරා ළඟා වීමට මෙම වැඩසටහන අපේක්ෂා කරයි.

    පසුගිය වසරේ පැවැත්වුණු Spiralation වැඩසටහන මගින් Frammix, Thingerbits, Tracified, RN Innovations, Ideal Six, BookClub.lk, SchoolX, Univiser, Smartstudy, Real Pixels, Kayal Technologies, Cookoo eats, Iron blood games, Lanka Travel Mart, Direct Pay හා FieldR යන තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර සඳහා මග පෙන්වීම සපයනු ලැබිණි. මේවායින් ඇතැම් ව්‍යාපාර දැනටමත් වෙළද පොලට අවතීර්ණ වී ඇති අතර ස්වකීය අරමුණු සාක්ෂාත් කර ගනිමින් තිරසාර අනාගතයක් උදා කර ගැනීම වෙනුවෙන් සිය පාරිභෝගිකයන් හට සාර්ථක විසඳුම් සපයනු ලබයි.

    Spiralation වැඩසටහන මගින් පහසුකම් සැපයුණු ව්‍යාපාරයක් වන Thingerbits තාක්ෂණික අධ්‍යාපනය පාදක කර ගත් නිර්මාණාත්මක ආකල්ප මිනිසුන් තුළ ව්‍යාප්ත කරමින් ස්වයං-නිර්මාණ සඳහා ඔවුන් යොමු කිරීමට කටයුතු කරන අතර, රට තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීමට පියවර ගනියි. SchoolX ව්‍යාපාරය අන්තර්ජාලය පදනම් කරගනිමින් දැනුම ලබා දෙන්නක් වන අතර, ගුරුවරුන් මත පමණක් යැපෙන අධ්‍යයන රටාවෙන් සිසුන් මුදවා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ස්වයං-අධ්‍යයනය මගින් වඩා නිර්මාණශීලී සිසුන් පිරිසක් බිහි කිරීමට වෑයම් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ පොත් ඩිජිටල්කරණය කිරීම මගින් තම ප්‍රියතම පොත් කියවීමේ පහසුව ලබා දීම සහ විද්‍යුත් කියවුම් යෙදුම හරහා පාඨකයන් ප්‍රමාණය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන Bookclub.lk ඩිජිටල් පොත් ප්‍රකාශන හා තාක්ෂණික ව්‍යාපාරයකි. Univiser යනු අන්තර්ජාලය පදනම් කරගත්, අධ්‍යාපන ආයතනයන්හි වත්මන්, අනාගත හා ආදි සිසුන් සම්බන්ධ කරමින් කටයුතු කරන ඩිජිටල් උපදේශන වේදිකාවකි. සිසුන් හා රැකියා අපේක්ෂාවෙන් පසුවන පිරිස මුහුණ දෙන බහුවරණ ප්‍රශ්න සඳහා ලකුණු ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කළ හැකි අන්තර්ජාල යෙදවුම් නිර්මාණය කරන ආයතනයක් ලෙස SmartStudy හැඳින්විය හැකිය. මේ සෑම ව්‍යාපාරයක්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් උචිත විසඳුම් සපයනු ලබයි.

    Frammix ශ්‍රී ලංකාවේ පෞරාණික ස්ථාන කරා ත්‍රිමාණ චාරිකා තුළින් (Virtual Tours using VR Technology) රැගෙන යමින් එම ස්ථාන පිළිබඳ දැනුවත් කරමින් සහ එම ස්ථාන වල වටිනාකම වර්ධනය කර සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට දායක වේ. Real Pixels යනු හොලෝග්රැෆික් දර්ශනයන් (Holographic Displays) නිර්මාණය කරන ආයතනයක් වන අතර ඔවුන් විසින් වෙළද දැන්වීම් වලදී උපයෝගී කර ගත හැකි AVINA නම් හොලෝග්රෑම් උපාංගය නිර්මාණය කරන ලදී. RN Innovations තාක්ෂණික පද්ධතීන්, විශේෂයෙන් බැංකු වැනි ආයතනයන්හි පද්ධතීන් වෙත, අනවසරයෙන් ඇතුළුවීම් වැළැක්වීමට ආරක්ෂණ ක්‍රමවේද (Intruder Detection Systems) සපයමින් කටයුතු කරන ව්‍යාපාරයකි. RN Innovations විසින් ඉහත අවදානම හදුනාගෙන එය වැළැක්වීමේ යාන්ත්‍රණයක් හදුන්වා දුන් අතර මෙම පද්ධතිය බැංකු සහ ATM සඳහා යොදවා ඇත.

    Kayal Technologies, පරිගණක දෘෂ්‍ය (Computer Vision) හා රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආරම්භක මට්ටමේ පවත්නා ව්‍යාපාරයක් වන අතර, Idealsix අපද්‍රව්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා හා නගර සභා වෙත තාක්ෂණික විසඳුම් සපයමින් කටයුතු කරයි. Tracified යනු විකුණුම්කරුවන් හට සිය නිෂ්පාදන පිළිබඳව අන්තර්ජාල වාණිජ්‍ය (E-Commerce) මගින් සන්නිවේදනය කළ හැකි Blockchain පදනම් කරගත් තාක්ෂණික ව්‍යාපාරයකි. Cookoo Eats ඇණවුම් අනුව පාරිභෝගිකයින් හට ඉතාමත් විශ්වාසවන්තව හා පහසුවෙන් ආහාර බෙදා හැරීමට කටයුතු කරන අන්තර්ජාල යෙදවුමකි.

    Spiralation වැඩසටහන ඔස්සේ, තාක්ෂණය පදනම් කර ගත් මෙම සෑම නව ව්‍යාපාරයකටම උසස් මට්ටම කරා ළඟා වීමටත් රටෙහි දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීන ඉලක්ක ජය ගැනීමටත් හැකියාව උදා කරයි. එමගින් පහසුකම් උපදෙස් හා මග පෙන්වීම ලද මෙම නව ව්‍යාපාරවලින් වැඩි ප්‍රමාණයක්, මේ වන විටත් රට තුළ, ගුණාත්මක අධ්‍යාපනයක් බිහි කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, සෞඛ්‍ය හා යහ පැවැත්ම, සනීපාරක්ෂාව, කර්මාන්ත, නව නිර්මාණ හා සැලසුම් ආදිය කෙරෙහි කැපී පෙනෙන බලපෑමක් සිදු කර තිබේ. Spiralation, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය (MODSIT) වශයෙන් පෙර පැවති කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ මුල්‍ය අනුග්‍රාහකත්වය සහිතව, ICTA ආයතනය මගින් ක්‍රියත්මක කෙරෙන වැඩසටහනකි.