ජාතික කඩදාසි සමාගම ඈවර කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය අවලංගු කරයි

    February, 20, 2020

    නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, දැනට නිෂ්පාදන කටයුතු සිදු කරනු නොලබන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවයක් සහිත සියලුම රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ අනුව, සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ පවතින දැනට නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හල්වල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට සිදු ‍කෙරෙමින් පවතී.

    එම කාර්යයන් සඳහා සීමාසහිත ජාතික කඩදාසි සමාගම ක්‍රියාකාරිව පැවතීම අත්‍යවශ්‍ය බැවින් එම සමාගම ඈවර කිරීමට සහ එහි දැනට සේවයේ යෙදී සිටින සේවකයින්ගේ සේවය අවසන් කිරීම සඳහා ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ගෙන තිබූ තීරණය අවලංගු කිරීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.