ජාතික ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා මහජන අදහස් විමසීම මැයි 15 දක්වා

    May, 9, 2022

    ජාතික ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කිරීම සදහා මහජන අදහස් විමසීමක් මේ දිනවල සිදුකෙරේ. රටේ අධ්‍යාපන ක්‍රමය ඩිජිටල් තාක්ෂණවේදය සමඟ මුසු කිරීමේ ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩපිළිවල ආරම්භ කර තිබේ. එහි මුල් පියවර ලෙස අධ්‍යාපනඥයින්, නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළු තුනක් පවත්වා සකස්කරනලද  ජාතික ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක්  සදහාවූ යෝජනා  මාලාවක් මහජන අදහස් විමසීම සදහා ඉදිරිපත්කර ඇත.

    පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය ආයතන සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල පවතින ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සහ ඒවාට විසඳුම් සෙවීමේ ක්‍රම සොයා ගනිමින් වැඩමුළු මාලාවේ දී ප්‍රකාශ කරන ලද අදහස්, සහ යෝජනාවල  සෘජු ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රතිපත්තිය සකස්  කෙරින.  මෙම ප්‍රතිපත්ති යෝජනා  සකස්කිරීම සදහා  අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා ව්‍යාපාරික සංගමය SLASSCOM (Sri Lanka Association for Software Services Companies), ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත පෙඩරේෂණය   FITIS (Federation of Information Technology Industry Sri Lanka), ශ්‍රීලංකා පරිගණක සංගමය CSSL (The Computer Society of Sri Lanka) නියෝජනය කරමින්  සාමාජිකයින් සහ තොරතුරු කර්මාන්ත ක්ෂේත්‍රයයේ  විශේෂඥයින් පිරිසක් සහාය වුහ.

    ඩිජිටල් පරිවර්තනය සෑම ක්ෂේත්‍රයකට මෙන්ම  අධ්‍යාපනයට එහි ඇති  බලපෑම නොසලකා හැරිය නොහැක. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වර්ධනය සදහා නව  තාක්‍ෂණයන් ඵලදායී ලෙස භාවිතා කිරීම, වැඩි අවස්ථා උදාකරදීම , දැරිය හැකි මිල සහ ලබා ගැනීමේ හැකියාව  තුළින් නව කුසලතා සහ නිපුණතා පෝෂණය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුකෙරින .එමගින්  අධ්‍යාපනය ලබන්නන්ට  ඔවුන්ගේ ඉගෙනුම් හැකියාවන් පුළුල් කිරීමට පහසුකම් සපයයි. මෙය සාක්ෂාත් කර ගත හැක්කේ නව්‍ය ඉගෙනුම් අවස්ථා සඳහා පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කරන අධ්‍යාපන ප්‍රතිපත්ති පරිවර්තනයකින් බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හදුනාගෙන ඇත.

    ඒ අනුව අධ්‍යාපනයේ අපේක්ෂිත ඩිජිටල් පරිවර්තනය සාක්ෂාත් කර ගැනීම සඳහා  අවධානය යොමුකරමින් ප්‍රධාන  ක්ෂේත්‍ර දහනවයක් ප්‍රතිපත්ති ලේඛනය සදහා යෝජනා කරයි.  අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය, ඩිජිටල් අධ්‍යාපනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම, කර්මාන්ත අංශය  සමඟ එක්ව  ගමන් කිරීම, අවශ්‍ය සම්පත් සමඟ සිසුන්ට ඩිජිටල්කරණය වූ පරිසරයක් නිර්මාණය කිරීම, ස්වයං ඉගෙනීම, ඉගෙනුම් කළමනාකරණ පද්ධති, ඩිජිටල් අවකාශයේ ආරක්ෂාව සහ සිසුන්ගේ සහ  පරිපාලන කාර්ය මණ්ඩලයේ කුසලතා සංවර්ධනය , ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සිදුකිරීමට මෙමගින් යෝජනා  ඉදිරිපත්ව තිබේ .

    අදාළ යෝජනාවලිය පිළිබද තොරතුරු  මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර  (https://www.icta.lk/policy-for-digital-transformation-of-education/ ). මහජන අදහස් ලබාදීම සදහා පහත  ලිපිනයන් භාවිතා කරන ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඉල්ල සිටියි.

    අධ්‍යක්ෂ /ප්‍රතිපත්ති ,නො 490,ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ආර් .ඒ.ඩි' මේල් මාවත, කොළඹ 03, ඊ මේල්   policy@icta.lk