ජාතික තිරසර කතිකාවේ පළමු කෙටුම්පත ජනපතිට පිළිගන්වයි

    February, 20, 2018

    2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරාගතයුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්ක සහිත “ජාතික තිරසර කතිකාවේ” පළමු කෙටුම්පත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේදී පත්කරන ලද 2030 තිරසර දැක්ම සැකසීමේ ජනාධිපති විශේෂඥ කමිටුව විසින් සකසන ලද මෙම කෙටුම්පත මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ, මහාචාර්ය හේමන්ති රණසිංහ, ආචාර්ය ඩබ්ලිව්. එල් සුමතිපාල යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් ඊට එක්ව සිටියහ.

    ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්ට අදාළ කෘෂිකර්ම, ප‍්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, සාගර හා මත්ස්‍ය, නාගරික හා භෞතික සැලසුම් යන ඉලක්ක ඔස්සේ 2030 වසර වන විට ශී‍්‍ර ලංකාව සපුරාගත යුතු ඉලක්ක පිළිබඳව මෙහි සවිස්තරාත්මක කරුණු ඇතුළත් කර තිබෙන අතර ඒ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    මෙවැනි ජාතික තිරසර කතිකාවක් රටට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙම කෙටුම්පත ඉදිරියේදී ජනගත කර ඒ පිළිබඳ සංවාදයක් රට තුළ ඇති කිරීමට නියමිත වන අතර එය ජාතික තිරසර කතිකාව නමින් එළැඹෙන මාර්තු මාසයේදී එළිදැක්වීමට නියමිතය.